Unicode Decoder

Recent Movies

උමං සොහොන් වලින් ප්‍රකාශිත මුල් කිතුනු සභාව

ඈත අතීතයේ සිට ම මිනිසා මරණින් මතු ජීවිතයක් ගැන විශ්වාස කළේය. එබැවින් මිනිසා මරණයට පත් අයගේ මෘත ශරීර ආරක්ෂා කර තැබීමට විවිධ උපක්‍රම භාවිත කරමින් පියවර ගත්තේ ය. මෙම මෘත ශරීර තැන්පත් කිරීමට හා සුරක්ෂිතව තබා ගැනීම සඳහා විවිධ ආරක්ෂිත සොහොන් ගෙවල් සකස් කර ගත්හ. මුල්කාලීන කිතුනුවන් ද ස්වකීය කිතුනු සභාවේ සාමාජිකයන්ගේ හා ශුද්ධවරයන්ගේ මෘත ශරීර ආරක්ෂා කිරීම සඳහා රහසිගත බිම්ගෙවල් හා උමං යොදා ගත්හ. මෙම උමං සොහොන් ගෙවල් ඉංග්‍රීසි භාෂාවෙන් "කැටකෝම්බ්ස් " (Catacombs) යන නමින් හඳුන්වයි. මෙම උමං සොහොන් වලින් වැඩි ප්‍රමාණයක් දක්නට ලැබෙන්නේ රෝම පුරවරය තුළය. එහෙත් ප්‍රංශය, මෝල්ටාව, කපදෝසියාව වැනි ප්‍රදේශ වල ද උමං සොහොන් තිබේ. මෙම උමං සොහොන් බිහි වීමට බලපෑ මූලික සාධක තුනක් ඇත. 
උමං සොහොනක ප්‍රාණ පරිත්‍යාගී ජූලියස් එව්ජින්තුමාගේ 
මෘත ශරීරය තැන්පත් කිරීම
එනම්,
  1. කිතුනුවන් මරණයට පත් වූ විට මෘත ශරීරය දිරා යන නමුත්, ලෝකාවසානයේ දී පැවැත්වෙන්නේ යැයි විශ්වාස කරන මහා විනිශ්චය දිනයේ දී, නැවත තම ශරීරය රැගෙන මළවුන්ගෙන් උත්ථාන (මාංශෝත්ථානය) වන බව විශ්වාස කළ නිසා ඔවුන් සිරුර දවා එහි අළු තැන්පත් කිරීමේ පැරණි රෝමවරුන්ගේ අවමගල්‍ය චාරිත්‍රය ප්‍රතික්ෂේප කොට මෘත ශරීර මිහිදන් කිරීමත්,
  2. ඇතැම් ශුද්ධවරයන්ගේ සිරුරු නොදිරා පවතින්නේ නම්, එය එම තැනැත්තා ශුද්ධවන්තයෙකු බවට නිසැක සාක්ෂියක් ලෙස සැලකූ බැවින් ඒ පිළිබඳ දැනගැනීම සඳහාත්,
  3. වහලුන්, දිළින්දන් හා මානව අයිතිවාසිකම් අහිමි කළවුන් වැනි අයට ඔවුන්ගේ පිරිවර මරණයට පත්වූ පසුව මිහිදන් කිරීමට සුදුසු ස්ථානයක් නොවූ නිසාත්, රෝම පුරවරය තුළ මෘත ශරීර මිහිදන් කිරීම තහනම් කොට තිබූ නිසාත්,
උමං සෙ‍හොනක මෘත ශරීර තැන්පත් කරන අයුරු
හේතුවෙන් ගල්ගුහා, බිම් ගෙවල් හෝ කැණූ උමං මාර්ග තුළ සොහොන් බිම් තැනීම සිදුකර ඇත. එසේම, මළ සිරුරු ඒ ආකාරයෙන් ම මිහිදන් කිරීමට වඩා ඉඩකඩ ඇති භූමි ප්‍රමාණයක් හා සුදුසු ස්ථානයක් අවශ්‍යය. රෝම අධිරාජ්‍යය තුළ ඇදහීමට තහනම් කළ ආගමක් වූ 'ක්‍රිස්තියානිය' ඇදහූ මුල් කිතුනුවන්ට එවැනි ඉඩකඩම් නොමැති වූයෙන් ද, රෝමානු චරපුරුෂයන්ගෙන් කිතුනුවන්ගේ මෘත ශරීර සඟවා මිහිදන් කිරීම සඳහාත්, කිතුනුවන් තෝරා ගත්තේ මෙම උමං සොහො‍න් ය. මේවායින් බොහෝමයක් ජනාකීර්ණ පෙදෙස් වලින් බැහැරව සැඟවුණු හා ආරක්ෂිත ස්ථාන වල පිහිටා තිබේ. රෝමානු නගර සීමාව තුළ මෘත ශරීර මිහිදන් කිරීම තහනම් වූ බැවින් මේවා නගරයෙන් පිටත දක්නට ලැබේ. [Click Here]
රෝමයේ දක්නට ලැබෙන බොහෝ කිතුනු උමං සොහොන් ක්‍රිස්තු වර්ෂ 2 වන සියවසට හා ඉන්පසු කාලයට අයත් ඒවා වෙති. ක්‍රිස්තු වර්ෂ 380 න් පසුව කිතු දහම රෝම අධිරාජ්‍යයේ රාජ්‍යාගම වූ පසුව, මෙම උමං සොහොන් පිහිටි ස්ථාන කිතුනු වන්දනා ස්ථාන බවට පත්වූ අතර, ඒවායේ තැන්පත් කර ඇති ශුද්ධවර මෘත ශරීර හා ශුද්ධ වූ වස්තු කිතුනුවන්ගේ වන්දනා ගෞරවාදරයට පාත්‍ර විය. පසුකාලීනව ඇතැම් උමං සොහොන් ඇති ස්ථාන ආරක්ෂා වනසේ, ඊට ඉහළින් අලංකාර දේවස්ථාන හා බැසිලිකා ඉදි විය. 
ක්‍රිස්තු වර්ෂ 380 න් පසුව ඩැමේසස් පාප්තුමා (Pope Damasus, 366-384.) (දකුණු පස රූපය) [Click  Here] ශුද්ධවන්තයන්ගේ මෘත ශරීර හා ඒවායේ කොටස් උමං සොහොන් වලින් පිටතට ගෙන බැසිලිකා හා ආසන දෙව්මැදුරු වල ස්ථාපිත කළ විශේෂ සොහොන් බිම් වල තැන්පත් කිරීමට කටයුතු යෙදීය. ක්‍රිස්තු වර්ෂ 6 වන සියවසේ පටන් මෙම උමං සොහොන් භාවිත කෙරුණේ ප්‍රාණ පරිත්‍යාගී ශුද්ධවරයන්ගේ මංගල්‍ය හා සංවත්සර උත්සව පැවැත්වීම සඳහා ය. පසුකාලීනව රෝමයට එල්ල වූ මිලේච්ඡ ආක්‍රමණ වල දී, විශේෂයෙන් 'ඔස්ට්‍රෝගොත්වරු' (Ostrogoths) 'වැන්ඩල්වරු' (Vandals) හා 'ලොම්බාඩ්වරු' (Lombards) යනාදීන් උමං සොහොන් ‍බොහෝමයක් විනාශ කර ඒවායේ තිබූ වටිනා භාණ්ඩ හා ශුද්ධ වූ වස්තු පැහැර ගැනීම නිසා විනාශයට ලක් විය.[Click Here] 
 වැන්ඩර්සිල් ශුද්ධ වූ වස්තු පැහැර ගැනීම (වම)

ක්‍රිස්තු වර්ෂ 10 වන සියවසේ සිට උමං සොහොන් වලට විය හැකි හානි වැලැක්වීමට හා එම ස්ථාන සංරක්ෂණය කිරීමේ කටයුතු හේතුවෙන් වැඳුම් පිදුම් කටයුතු සඳහා තහනම් ස්ථාන ලෙස නම් කෙරුණි. එමනිසා උමං සො‍හොන් පිළිබඳ කිතුනු උනන්දුව හා අවධානය ක්‍රමයෙන් අඩුවී ගියේ ය. එහෙත් අහම්බෙන් මෙන් ක්‍රිස්තු වර්ෂ 1578 දී හමුවූ උමං සොහොනක් නිසාවෙන් කිතුනු බැතිමතුන්ගේ අවධානය නැවත ඒ කරා යොමු විය.
ඔස්ට්‍රොගොත්වුන්ගේ මිලේච්ඡ ආක්‍රමණ (දකුණ)
ක්‍රිස්තු වර්ෂ 1632 දී අන්තෝනියෝ බොසියෝ (Antonio Bosio, 1575-1629) නමැත්තා දස වසක් පර්යේෂණ කටයුතු වල යෙදී උමං සොහොන් පිළිබඳව ගවේෂණාත්මක දත්ත ඇතුළත් 'Roma Sotterranea' නමැති ග්‍රන්ථය එළිදැක්වීය. ඉන් සියවස් දෙකකට පසුව ගියොවානි බැටිස්ටා ද රොස්සි (Giovanni Battista de Rossi, 1822-1894) නමැති පුරා විද්‍යාඥයා උමං සොහොන් පිළිබඳ පුළුල් විවරණයක් ඉදිරිපත් කළේය. ගියොවානි තවත් පුරා විද්වතුන් කිහිප දෙනෙකු සමග එක් වී කළ මෙම පර්යේෂණ වලින් උමං සොහොන් හා පොළොව යට පිහිටි බිම් ගෙවල් වල ජීවිත ක්‍රමය පිළිබඳ බෙහෝ කරුණු අනාවරණය කර ගැනීමට හැකි විය.                                                  
ගියොවානි  බැටිස්ටා                                                                      හඳුනා නොගත් උමං සොහොන් ඇටකටු 
මේ පිළිබඳව පර්යේෂණ පැවැත්වූ බොහෝ විද්වතුන්ට ක්‍රිස්තු වර්ෂ 1956 - 1959 කාලය තුළ රෝමයට නුදුරුව උමං සොහොන් රාශියක් සොයා ගැනීමට හැකි විය. මෙසේ දැනට රෝමයේ උමං සොහොන් 40 ක් පමණ සොයා ගෙන ඇත. ක්‍රිස්තු වර්ෂ 70 පමණ සිට 312 පමණ වනතුරු මරණයට පත් වූ කිතුනුවන් පන් ලක්ෂයකට වඩා වැඩි පිරිසකගේ මෘත ශරීර මේවායේ තැන්පත් කර ඇති බවට තොරතුරු අනාවරණය කර ගෙන ඇත. ඇතැම් උමං සොහොන් වලට පසුකාලීනව සිදුවී ඇති විවිධ අලාභහානි හා විනාශවීම් නිසා විසිරී ගිය ඇටසැකිලි කොටස් හඳුනා ගැනීමේ දුෂ්කරතා නිසා ගොඩවල් වශයෙන් එක් තැනක තැන්පත් කර ඇත. ඉහත දකුණු පස රූපය දෙස බැලීමේ දී මෙම උමං සොහොන් වල තැන්පත් ව තිබූ මෘත ශරීර සංඛ්‍යාව කෙතරම් දැ යි අවබෝධ කරගත හැකිය. ‍තවද, මෙසේ කිතුනුවන්ගේ මෘත ශරීර සුරක්ෂිතව උමං සොහොන් වල තැන්පත් කර තැබීමට බලපෑ එක් හේතුවක් නම්, ජේසුස් වහන්සේගේ දෙවන ආගමනයේ දී සිදුවන මාංශෝත්ථානයට සහභාගිවීමේ අපේක්ෂාවය. (1) "මෙන්න, මම ඔබට අභිරහසක් පවසමි. අපි සියල්ලෝ ම නොමැරෙන්නෙමු. එහෙත් අන්තිම හොරණෑව පිඹින කල, මොහොතකින්, ඇසිපිය හෙළන සැණෙකින්, අපි වෙනස් කරනු ලබන්නෙමු. මන්ද, හොරණෑව පිඹිනු ලබයි. එකල මිය ගිය අය අජරාමර ස්වභාවයෙන් උත්ථාන කරනු ලබන්නාහ. අපි ද වෙනස් කරනු ලබන්නෙමු. දිරන සුලු මේ සිරුර නොදිරන සුලු බවට පත්විය යුතු ය. මැරෙන සුලු මේ සිරුර අමරණීයත්වයට පත්විය යුතු ය. දිරන සුලු මේ ස්වභාවය නොදිරන සුලු බවටත්, මැරෙන සුලු මේ ස්වභාවය අමරණීයත්වයටත් පැමිණි කල්හී, 'මරණය පැරදිණි, ජය අත්විණි' ය ශුද්ධ ලියවිල්ලේ ලියා තිබෙන වචන සම්පූර්ණ වේ" (1 කොරින්ති 15 : 51 - 34) යනුවෙන් ශුද්ධ වූ පාවුළු තුමා කළ ඉගැන්වීමට අනුව මරණය තාවකාලික වේදනාවකි. මළ තැනැත්තා ක්‍රිස්තුස් වහන්සේගේ මහිමාන්විත උත්ථානය සහභාගි වීමකි. එනිසා උමං සොහොනේ දුෂ්කර වේදනාත්මක ජීවිත පිළිවෙල තාවකාලික අත්දැකීමක් පමණකි. ප්‍රාණ පරිත්‍යාගී වන කිතුනුවන්ගේ ජීවිතාදර්ශය ජීවත් වන කිතුනුවන්ගේ මෙම ජීවිත ‍පිළිවෙලට ශක්තියක් ගෙන දීමකි. 

මෙකී ඇතැම් ඒවා පොළොව යට පිහිටි උමං හා බිම් ගෙවල් තුළ දිගු පටු උමං මාර්ග දිගේ දිවෙන තට්ටු වශයෙන් සකස් කළ උමං සොහොන් වෙති. ඒ අතර මීටර් 7 - 19 (අඩි 22 - 65) දක්වා උසැති ප්‍රමාණ වලින් තට්ටු වශයෙන් විහිදී ගිය උමං සොහොන් ද දැකිය හැකිය. පටු උමං මාර්ග දිගින් මීටර් 3 සිට 8 දක්වා පමණ වෙති. ඒ ඒ තට්ටු විවිධ මට්ටම් වල දී සම්බන්ධ වන සේ පියගැට පෙළ වලින් සම්බන්ධ කර ඇත. 
මෙම උමං මාවත් 'ambulacra' යන නමින් හඳුන්වයි. (ඉහළ වම් පස රූපය) මෙම උමං සොහොන් ඉශ්රායෙලයේ සිට රෝමයට සංක්‍රමණය වූ ජුදෙව් කිතුනුවන්ගේ සොහොන්, කිතු දහම වැළඳගත් රෝමානු කිතුනුවන්ගේ සොහොන්, ප්‍රාණ පරිත්‍යාගී කිතුනුවන්ගේ සොහොන්, මිථ්‍යා දෘෂ්ඨිකයන්ගේ සොහොන්, විවිධ පූජ්‍ය නිකායන්ට අයත් පැවිදිවරුන්ගේ සොහොන් [Click Here] හා පාප්වරුන්ගේ සොහොන් වශයෙන් විවිධ වෙති. (ඉහත දකුණු පස රූපය අම්බ්‍රොසියුස් පාප්තුමාගේ නවීකරණය කළ සොහොනය.) පාප්වරුන්ගේ ඇතැම් සොහොන් පසුකාලීනව නවීකරණය කොට බැතිමතුන්ට නැරඹීමට ද අවකාශ ලැබෙන පරිදි සකස් කර ඇත.
ලාවා පාෂාණ උමං සොහොනක්
මුල්කාලීන රෝමානු කිතුනු බැතිමතුන් මෘත ශරීර ලිනන් රෙදි වලින් ඔතා උමං බිම් ගෙවල් තුළ මෘදු ලාවා පාෂාණ (Volcanic Rocks) හෝ ඝන පස් කඳු බිත්ති කුහරයක් සේ තිරස් අතට හාරා ලිනන් රෙදි වලින් එතූ මෘත ශරීර ඒ තුළ තැන්පත් කරයි. ඉන්පසුව එම උමං සොහොන් කුහරය ඉදිරිපස හුණු බදාමයකින් හෝ පැතළි ගල් ලෑල්ලකින් වසා දමති. 
මෙම පාෂාණ ලෑල්ලේ හෝ හුණු බදාමයේ එහි සැතපී සිටින පුද්ගලයාගේ නම, වයස හා මරණය සිදු වූ දිනය ද කොටා හෝ සිතුවම් කර ඇත. (දකුණු පස රූපය) ධනවත් හා වංශවත් කිතුනුවන්ගේ මෘත ශරීර තැන්පත් කර ඇති උමං සොහොන් ඝන චතුරඝ්‍රාකාර කුඩා කාමරයක ස්වභාවයක් උසුලන අතර, ඒවායේ සිවිලිමෙහි හා බිත්ති වල අලංකාර බිතු සිතුවම් දැකිය හැකිය. මෙම බිතු සිතුවම් වලින් බොහෝමයක් කිතුනු ආගමික සංකල්ප, විශ්වාසයන් හා ශුද්ධ බයිබලයේ සඳහන් සිද්ධීන් සම්බන්ධ ඒවා වෙති. ආදම් සහ ඒවා නමැති ආදි මව්පියන්, ජේසුස් වහන්සේගේ බව්තීස්ම ස්නාපනය, දිව්‍ය පූජාව පැවැත්වීම, අන්තිම රාත්‍රී භෝජනය හා සක්‍රමේන්තු (දේව ප්‍රසාද නිධාන) වල රූප සටහන් මෙම බිතු සිතුවම් අතර වේ. 
ක්‍රිස්තු වර්ෂ 302 දී පමණ ප්‍රාණ පරිත්‍යාගී වූ සාන්ත ඇග්නස් (වම් පස රූපය) කන්‍යා මුනිවරියගේ උමං සොහොන මෙබඳු කුඩා දෙව්මැදුරකි. මේවා කිතුනු ලෝකයේ ඉපැරණි බිතු සිතුවම් ලෙස පුරා විද්‍යාඥයන් හඳුන්වා දෙති. ඒවා අතර රෝමයට සංක්‍රමණය වූ මුල්කාලීන ජුදෙව් කිතුනුවන්ගේ බිතු සිතුවම් රැගත් උමං සොහොන් ද වෙති. ධනවතුන්ගේ නිවෙස් හා ‍විවිධ රාජකීය ගොඩනැගිලි තැනීම සඳහා අවශ්‍ය විවිධ පාෂාණ වර්ග කැණීමේ කටයුතු වල නියැලී සිටි කිතුනු වහල්ලු, පොළොව ගර්භයෙහි පිහිටි මෘදු ලාවා පාෂාණ කැණීමෙන් අනතුරුව එම ස්ථානයෙහි ඇති වන කුහර උමං සොහොන් සඳහා යොදා ගත්හ. 

විඤ්ඤාකාසියා උමං සොහොන                                                               පහන් ආලෝකය ලබා ගත් අයුරු
මෙම භූ ගර්භ කුටි හා උමං සඳහා අවශ්‍ය වාතාශ්‍රය හා ආලෝකය ලබාගෙන ඇත්තේ, භූ ගර්භයෙහි සිට පොළොව මතුපිටට කැණු පටු වා කවුළු තුළිනි. (වම් පස රූපය) ඒසේම ඔවුන් එම උමං කැණීමේ දී ඇතුළත ආලෝකය ලබා ගැනීම පිණිස පන්දම්, සත්ත්ව තෙල් වලින් තැණූ පහන් හෝ තැටියක ආකාර බිත්ති මත එල්ලූ පහන් බඳුන් යොදා ගත් බව එම උමං සොහොන් වල බිත්ති මත ඇඳ බිතු සිතුවම් වලින් පෙනී යයි. (ඉහත දකුණු පස රූපය)
රෝමයේ උමං සොහොන් පිළිබඳ තොරතුරු සෙවීමේ දී ඒවා විද්වතුන්ගේ මතවාද අනුව පහත සඳහන් අයුරින් වර්ගීකරණය කළ හැකිය. එනම්, 
මෘදු ලාවා පාෂාණ හෝ ඝන පස් කඳු බිත්තියක කුහරයක් සේ තිරස් අතට හාරා මෘත ශරීර තිරස් අතට තබා තැන්පත් කර ඇති 'Loculiයන නමින් හඳුන්වන උමං සොහොන් විශේෂයක් ඇත. (දකුණු පස රූපය- සාන්ත කැලික්ස්ටස් උමං සොහොන් සංකීර්ණය) මේවා සකස් කර ඇත්තේ ලාවා ගැළීම මගින් ඝන වූ පාෂාණ තිරස් අතට හාරා ගැනීමෙනි. මෙම උමං සොහොන් කැණීම ඉතා ප්‍රවේශමෙන් සියුම් ලෙස කළ යුතුව ඇත. මන්ද සුළු අත් වරදකින් සියල්ල කඩා වැටී විනාශ වීමටත් ජීවිත හානි පවා සිදුවීමටත් ඉඩකඩ ඇති බැවිනි. එහෙත් මෙම කාර්යයෙහි නිරත වූ කිතුනු වහලුන් මෙම උමං සොහොන් නිර්මාණයෙහි නිපුණ පිරිසක් බව ඒවා අදටත් හොඳ තත්ත්වයෙන් පැවතීම තුළින් මනාව පැහැදිළි වේ.
පොළොවට සමාන්තරව කිරිගරුඬ පාෂාණයෙන් කැණූ 'Arcosolium' යන නමින් හඳුන්වන උමං සොහොන් තවත් වර්ගයකි. (වම් පස රූපය) මේවා පොළොවට සමාන්තරව මෘත ශරීරය තැබීම සඳහා කිරිගරුඬ පාෂාණයෙන් කැණූ හෝ තැනූ උමං සොහොන් වෙති. සාමාන්‍යයෙන් මෙවැනි සොහොන් භාවිත කර ඇත්තේ ධනවත් අයගේ මෘත ශරීර තැන්පත් කිරීම සඳහාය. එය ද කුටියක ආකාරයක් ගෙන ඇති අතර බිතු සිතුවම් වලින් ද අලංකාර කර ඇත. මෙම වම් පස රූපයෙහි මෘත ශරීරය තැන්පත් කර තිබූ ස්ථානයේ බිත්තිය මත මොනරුන් දෙදෙනෙකුගේ බිතු සිතුවමක් දැකිය හැකිය. විශාරදයන්ගේ මතවාදය අනුව නම් මොනරාගේ තෙල් මෘත ශරීර කල් තබා ගැනීම පිණිස පැරැන්නන් භාවිත කර ඇත. නොදිරා ගිය සිරුරක් පිළිබඳ ඉඟියක් මෙහි දැක්වෙන බව ඇතැම් විද්වතුන්ගේ මතයයි.
පවුලේ සොහොනක් ලෙසින් භාවිත කිරීම සඳහා කුඩා කාමරයක ආකාරයෙන් මෘදු ලාවා පාෂාණ හාරා සෑදූ 'Cubicula' යන නමින් හඳුන්වන උමං සොහොන් ද ‍රෝමයේ දැකිය හැකිය. (දකුණු පස රූපය) මෙය තරමක් විශාල කාමරයක් තුළ සකස් කර ඇති ඝනාකාර කුටියක ආකාරයෙන් නිර්මාණය ඇති අතර එකම පවුලේ කිහිප දෙනෙකුව මිහිදන් කිරීම සඳහා භාවිත කර ඇත. මෙම කුටිය දැක ගැනීමට වෙන ම කාමරයක් තුළට උමං දොරටුවකින් ඇතුළුවීම අවශ්‍යය. මෙම උමං සොහොන් කුටි වල සිවිලිම පවා පාෂාණයෙන් සකස් කර ඇති අතර එහි රළු අඳුරු ස්වභාවය දුරු කිරීම පිණිස සුදු පැහැති හෝ මෘදු වර්ණ ආලේප කර විවිධ බිත්ති රූප සිතුවම් කර ඇත. එම කාමරයේ බිත්ති සතර වටා උමං සොහොන් කුටි සකස් ඇත. ඇතැම් උමං සොහොන් වල පොළොව පාෂාණයෙන් සකස් කර තිබේ. උණුසුම හා වාතාශ්‍රය නිසි පරිදි ලැබෙන ලෙස ඒවා සාදා තිබීම මෙහි එක් විශේෂත්වයකි. 
කුඩා දෙව්මැදුරක ආකාරයෙන් සකස් කොට අලංකාර බිතු සිතුවම් වලින් වහලය හා බිත්ති සැරසිළි කර ඇති 'Cryptae' යන නමින් හඳුන්වන උමං සොහොන් අලංකාරත්වයෙන් අනූන ය. (වම් පස රූපය) මෙම උමං සොහොන් වඩාත් ප්‍රචලිත වී ඇත්තේ සාන්තුවර ජීවිත ගත කළ අයගේ මෘත ශරීර තැන්පත් කිරීම සම්බන්ධයෙනි. තවද, මෙම වර්ගයේ උමං සොහොන් සෞන්දර්යාත්මක වටිනාකමින් ඉහළ ය. මන්ද, මුල් කිතුනු ලෝකයේ බිතු සිතුවම් කලාව හා පැරණි ජුදාවරුන්ගේ සිතුවම් කලාව පිළිබඳ පැහැදිළි අවබෝධයක් ලබා ගැනීමට එය ඉවහල් වන බැවිනි. ලෝකයේ ඉපැරණි කිතුනු බිතු සිතුවම් ඇත්තේ මෙම උමං සොහොන් වල යැයි පිළිගැනීමක් ඇත. මෙම වර්ගය ඉශ්රායෙලයේ සිට රෝමයට සංක්‍රමණය වූ ජුදා සම්භවයක් ඇති අයගේ හා රෝමානුවන්ගේ උමං සොහොන් වශයෙන් දෙකොටසක් ලෙස දැකිය හැකිය.  
උමං සොහොනේ තවදුරටත් මෘත ශරීර තැන්පත් කිරීමට ඉඩකඩ මදි වීම නිසා උමං පටු මග යට හාරා සකස් කර ඇති 'Formae' යන නමින් හඳුන්වන උමං සොහොන් ද කැපී පෙනෙන වර්ගයකි. (දකුණු පස රූපය) සීමිත ඉඩකඩ තුළ පැතිරී ඇති උමං සොහොන් අතර මෙම වර්ගයේ ඒවා දැකිය හැකිය. උමං සොහොන තුළ ඉඩ කඩ ප්‍රමාණවත් නොවූ විට පැරණි මෘත ශරීර ඒවා තැන්පත් කර ඇති ස්ථාන වලින් ඉවත් නොකර, පිහිටි පොළොවෙන් එම අවශ්‍යතාව ඉටු කර ගැනීම මෙහි ඇති වි‍ශේෂත්වයයි. මෙම උමං සොහොන් වර්ගය තුළ ඉඩ ඇහිරී ගිය බිම් ගෙයක ස්වභාවයක් පෙන්නුම් කළත්, තිබෙන ඉඩ ප්‍රමාණයෙන් උපරිම ප්‍රයෝජන ගෙන තිබීම වැදගත් දෙයකි. 
මීට අමතරව පාෂාණයෙන් සකස් කළ පෙට්ටියක ස්වභාවයක් ගන්නා සොහොන් ද දැකීමට පිළිවන. මින් ඇතැම් ඒවා කිරිගරුඬයෙන් නෙළා සකසා ඇත. (වම් පස රූපය - සාන්ත සෙබස්තියන් උමං සොහොන) මෙම සොහොන් වර්ගය කිතුනු ආගමික වශයෙන් ඉතා වැදගත්කමක් උසුළයි. මන්ද, අපගේ කිතුනු ඇදහිල්ලට මෙම සොහොන් වර්ගයේ ඇති සම්බන්ධතාවය යි. බෙහෝ විශාරදයන්ගේ මතයට අනුව, මෙම සොහොන් වර්ගය අඳුරු කිතුනු පීඩන සමයේ දී රහසිගත ආගමික හා ජනවන්දනා කටයුතු පිණිස යොදා ගෙන ඇත. පාෂාණයෙන් සෑදූ පෙට්ටිය තුළ මෘත ශරීරය බහා එය හොඳින් ඔප මට්ටම් කර තැනූ ගල් ලෑල්ලකින් වසා ඇත. එම ගල් ලෑල්ල පූජාසනයක් ලෙසින් ගෙන මුල් කාලීන කිතුනුවන් ඒ මත "රොටි කැඩීමේ පිළිවෙත" හෙවත් දිව්‍ය පූජාව පවත්වා තිබේ. එම චාරිත්‍රය හා පිළිවෙත කරණකොටගෙන වර්තමාන කතෝලික දෙව්මැදුරු වල පූජාසනය මත සාන්තුවරයෙකුගේ ශුද්ධ වූ ධාතුවක් හෝ සළු ධාතුවක් තැන්පත් කළ කිරිගරුඬ ඵළකයක් සවි කර ඇත. පූජාප්‍රසාදිතුමා පූජාසනය වෙත පැමිණි විගස දෙකට නැමී පූජාසනය සිපාචාරය කිරීමෙන් ගෞරවය හා නමස්කාරය ඊට පුද කිරීම සාමාන්‍ය කිතුනු සිරිත ය. 
                               ඩොමිටිල්ලා උමං සොහොන අයත් දෙව්මැදුරේ ඇතුළත
ඇතැම් උමං සොහොන් සංකීර්ණයක් ලෙසින් ඉදි වී ඇත. ක්‍රිස්තු වර්ෂ 2 වන සියවසට අයත් යැයි සැලකෙන ඉපැරණි  ඩොමිටිල්ලා උමං සොහොන (Catacombs of Domitilla) මෙසේ කිලෝමීටර් 15 ක් පුරා විහිදී ගිය මෘදු ලාවා පාෂාණ වල කැණ ඇති එවැනි උමං සොහොන් ගෙවල් සංකීර්ණයකට නිදසුනකි. [Click Here] බෙහෝ උමං සොහොන් විවිධ විද්‍යාත්මක පර්යේෂණ සඳහා විවෘත කිරීමත්, (වම් පස රූපය) ඒවායේ තැන්පත් කර ඇති මෘත ශරීර හා ශුද්ධ වූ වස්තූන් එතැනින් ඉවත් කර ගැනීමත් හේතුවෙන් ඒවාට බරපතල හානි සිදු වී ඇත. මේ නිසා ඓතිහාසික වටිනාකමින් අනූනවූ ශුද්ධ වූ වස්තූන් හා බොහෝ වන්දනීය ස්ථාන බැතිමතුන්ට නැරඹීමට ඉඩකඩ ඇහිරී ඇත. බොහෝ උමං සොහොන් මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කර ඇත්තේ විශේෂ අවසරයක් රැගෙන එන අයට පමණි. ඒවා නැරඹීම සඳහා පැමිණෙන බැතිමතුන් වි‍ශේෂ නීති රෙගුලාසි කිහිපයකට යටත් විය යුතුව ඇත. (2)
ලේසර් කිරණින් දිස්වෙන ඩොමිටිල්ලා උමං සොහොන

එනිසා නූතන පුරා විද්‍යාඥයන් උමං සොහොන් සම්පූර්ණයෙන් විවෘත නොකොට කුඩා සිදුරක් තුළින් සියුම් කැමරාවක් හෝ ලෙසර් කිරණයක් යැවීම තුළින් එහි ඇතුළත ස්වභාවය හා තත්ත්වය පරීක්ෂාවට ලක් කරයි. මේ මගින් උමං සොහොනට හා එහි තැන්පත්ව ඇති ශුද්ධ වූ වස්තූන් වලට සිදුවිය හැකි හානි බොහෝ දුරට අවම කර ගැනීමට හැකි වී තිබේ. විද්‍යා තාක්ෂණය නිසාවෙන් මෙවැනි පියවරයන් ගැනීමට හැකි වනු පමණක් නොව භූ තලය යට කාලාන්තරයක් පුරා පැවති අභිරහස්‍යමය ජීවිත පිළිබඳ බොහෝ සැඟවුණු ‍තොරතුරු අනාවරණය කරගැනීමට හැකි වී තිබේ.     
මෙම උමං සොහොන් පුරාණය කිතුනු අපට වැදගත් වන්නේ ඇයිදැ යි සලකා බැලීම කළ යුත්තකි. මේවා පහත දැක්වෙන හේතු සාධක නිසා විශේෂ වැදගත්කමක් උසුළයි. 
උමං සොහොනක නූතන දිව්‍ය පූජාව පැවැත්වීම
මුල්කාලීන ‍ජුදෙව් හා රෝමානු කිතුනුවන්ගේ සැඟවුණු ශුද්ධ වූ දුෂ්කර ජීවිත ක්‍රමය හඳුනා ගැනීමට උමං සොහොන් හා බැඳුණු ‍තොරතුරු වැදගත් වේ.  අඳුරු කිතුනු පීඩන සමයේ දී රෝමයේ සිටි කිතුනුවන්ට ආගමික නිදහසක් නොවීය. එබැවින් එකල කිතුනුවන් ගත කළ එම දුෂ්කර පීඩිත තත්ත්වය පිළිබඳ සාධක හා තොරතුරු මෙම උමං සොහොන් තුළ සැඟවී ඇත. මුල්කාලීන කිතුනු සංඝය මෙම උමං සොහොන් තුළ ගත කර ඇත්තේ ක්‍රිස්තු කේන්ද්‍රීය ආධ්‍යාත්මිකත්වයකින් (Christocentric Spirituality) යුතු ජීවිතයකි. ඒ බව එම උමං සොහොන් තුළ ඇඳ ඇති බිතු සිතුවම් වලින් මනාව පිළිබිඹු වේ. කොපමණ දුෂ්කර වුවත් ඔවුන් සිය ආගම පාවා නොදී ක්‍රිස්තුස් වහන්සේ නියම සාක්ෂි දැරීමක් කළ බැවින් රෝම අධිරාජ්‍ය්‍ය තුළ ක්‍රිස්තියානි ධර්මය නොනැසී දියත් විය. සාන්ත සිසිලියා උමං සොහොන
බොහෝ ප්‍රාණ පරිත්‍යාගීන්ගේ හා ශුද්ධවරයන්ගේ නොදිරා ගිය ශරීර හා ශුද්ධ වූ වස්තූන් මෙහි තැන්පත්ව ඇති නිසා විශේෂ ආගමික  වටිනාකමකින් යුක්තය.  උමං සොහොන් වල තැන්පත් වී ඇති මෘත ශරීර වලින් බොහෝමයක් අඳුරු කිතුනු පීඩන කාලයේ දී ප්‍රාණ පරිත්‍යාගී වූ අයගේ ඒවා යැයි සැලකේ. ඇතැම් පුද්ගලයන් සාන්තුවරයන් ය. සාන්ත ඇග්නස්, සාන්ත සෙබස්තියන්, සාන්ත එව්ජින්, සාන්ත සිසිලියා [Click Here] වැනි ශුද්ධවරයන් ඒ අතර සිටිති. මුල් කිතුනු සභාව ගොඩනැගුණේ ද, මෙම ප්‍රාණ පරිත්‍යාගීවරුන්ගේ රුධිරයේ අත්තිවාරම මතය. එබැවින් ශාසනික වශයෙන් මෙම උමං සොහොන් වලට විශේෂ වටිනාකමක් හිමිය. මෙම ප්‍රාණ පරිත්‍යාගීවරුන් අතර පේදුරුතුමාගේ පටන් රෝමයේ සාන්ත මාර්සලීනස් (ක්‍රි.ව. 296 - 304) දක්වා පාප්වරුන් 26 කට වඩා වැඩි සංඛ්‍යාවක් ප්‍රාණ පරිත්‍යාගී වී ඇත. ඇතැම් ප්‍රාණ පරිත්‍යාගී පාප්වරුන්ගේ උමං සොහොන් (මේවා ඉංග්‍රීසි බසින් Crypt නම්වේ.) වසා ඇති ගල් ලෑලි වල, "Gerusale, civitas et ornamentum martyru(m) D(e)i ..." - "ජෙරුසලම, දෙවියන් වහන්සේගේ ප්‍රාණ පරිත්‍යාගීන්ගේ පුරවරය හා ආභරණය..." යනුවෙන් සඳහන් කර ඇත. නැරඹීම හා ගෞරවය සඳහා පැමිණෙන බොහෝ බැතිමතුන්ට අදටත් සාමාන්‍ය ජීවිත ගත කළ වීරෝධාර කිතුනු ප්‍රාණ පරිත්‍යාගීවරුන්ගේ උමං සොහොන් ඵලක වල, "Tàuta o bìos" -  ( "Such is our life") යන්න අදටත් දැකිය හැකිය. එය ඔවුන්ගේ දුක්ඛිත මෙන් ම ශුද්ධවන්ත අභිමානවත් ජීවිත ක්‍රමය පිළිබඳ ඉඟි කිරීමකි.  
සාන්ත කැලිස්ටස් උමං සොහොනේ 
මංගල්‍ය පෙරහැර පැවැත්වීම
මෙම උමං සොහොන් බොහෝමයක් කිතුනු ශුද්ධවරයන්ගේ මංගල්‍ය හා සංවත්සර උත්සවයන් පැවැත්වූ මුල්කාලීන ආගමික සිද්ධස්ථාන වෙති. අඳුරු කිතුනු පීඩන සමයේ කිතුනුවන්ට දේවස්ථාන නොවීය. රෝමය පුරා වැඩි වශයෙන් දක්නට ලැබුණේ සූර්ය දෙවියන්ට හා "සීසර් දෙවියන්ට" වන්දනා කරන දේවාල පමණි. එම දේවාල වලට ගොස් වන්දනා කිරීමට රෝමානු පුරවැසියන්ට හා වහලුන්ට නියම වී තිබුණි. එහෙත් කිතුනුවන් ඊට විරුද්ධ අදහසක් දෑරූහ. මන්ද, එය දස පණතේ පළමු වගන්තිය වන "සැබෑ වූ එකම දෙවියන් වහන්සේට පමණක් වන්දනා කරන්න", යන ශුද්ධ වූ දේව නියමය නිසා සූර්ය දේව වන්දනාව හා "සීසර් අභිවන්දනය" ඔවුන් ප්‍රතික්ෂේප කළහ. එබැවින් කිතුනු මංගල්‍ය හා සාන්තුවර සංවත්සර උත්සව පැවැත්වීමට ඔවුන්ට ස්ථානයක් නොවීය. මේ සඳහා තිබූ ආරක්ෂිත ස්ථානය වූයේ මෙම උමං සොහොන් වෙති. රාත්‍රී කාලයේ දී මෙම රහසිගත උමං සොහොන් කරා රැස්වන කිතුනු සභා ශ්‍රේෂ්ඨයන් ගිනි පන්දම් ආලෝකයෙන් ආගමික පෙරහැර පවත්වමින් එම මංගල්‍ය හා සංවත්සර උත්සව පවත්වා ඇත.                     කපදෝසියාවේ කිතුනුවන් සැඟවී සිටි උමං සොහොනක්
රෝමානු අධිරාජ්‍යයන් විසින් ගෙන යන ලද කිතුනු ආගමික අඳුරු පීඩන සමයේ දී කිතුනුවන් ආරක්ෂාව සොයා සැඟවී සිටි ස්ථාන අතර උමං සොහොන් ප්‍රධාන වෙති. කිතුනු සභා නායකයන් හා මුල් සභා යුගයේ ධර්මදූතයන් රෝමානු සෙබළුන්ගෙන් හා චර පුරුෂයන්ගෙන් ආරක්ෂා වීම පිණිස සැඟවී සිට ඇත්තේ මෙම උමං සොහොන් වලය. පරීක්ෂණයන් සඳහා විවෘත කළ උමං සොහොන් තුළ තිබී හමුවී ඇති විවිධ පෞරාණික වස්තූන් වලින් හා ඒවා තුළ සිතුවම් කර ඇති චිත්‍ර රූ සටහන් වලින් මෙය හොඳින් පැහැදිළි වේ. මෙවැනි බාහිර ලෝකයෙන් සැඟවුණු ජීවිත ක්‍රමයක් ගෙවූ මුල් යුගයේ කිතුනුවන්ට ජීවිත සාක්ෂි දැරීමක් කිරීමට බලපෑ හේතු සාධකය කුමක්ද? එය නම් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය ය. "මා, මාගේ පියාණන් වහන්සේගේ ආඥා පිළිපැද උන් වහන්සේගේ ප්‍රේමයෙහි පවතින සේ ම, ඔබත් මාගේ ආඥා පිළිපදින්නහු නම්, මාගේ ප්‍රේමයෙහි පවතින්නහු ය", (ජොහාන් 15 : 10) යන්න ක්‍රිස්තුස් වහන්සේගේ ඉල්ලීම ය. එය ඔවුන් තම සැඟවුණු ශුද්ධ වූ ජීවිත පිළිවෙල තුළින් ප්‍රකාශ කළහ. "ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන් කළ හැකි කිසිවක් ඇද්ද? විපතටවත්, දුක් වේදනාවටත්, පීඩාවටවත්, සාගින්නටවත්, දුගී දුකටවත්, උවදුරටවත්, කඩුවටවත් අප වෙන් කළ හැකිද?....." (රෝම 8 : 35) යන ශුද්ධ වූ පාවුළු තුමාගේ ඉගැන්වීම තුළින් එවකට කිතුනුවන් තුළ වූ එම ශක්තිමත් හැඟීම පැහැදිළි වේ.  
මුල කිතුනු සභාවේ ජනවන්දනාව
උමං සොහොන් වල ති‍බෙන තවත් වැදගත්කමක් වන්නේ, ඒවා තුළ දිස්වෙන ජනවන්දනාමය හා සක්‍රමේන්තුමය ජීවිත (Liturgical and Sacramental Life) පිළිවෙල ය. බාහිර රෝමානු සමාජය තුළ ජනවන්දනාව පිණිස ඔවුන්ට ඉඩ ප්‍රස්ථා නොවූ නිසා, එම කිතුනු පීඩන සමයේ දී දිව්‍ය පූජාව වැනි ජනවන්දනා පිළිවෙත්, සක්‍රමේන්තු දානය කිරීමේ පිළිවෙත් හා කිතුනු ආගමික රැස්වීම් පැවැත්වූ ස්ථාන වශයෙන් උමං සොහොන් ඉතා වැදගත්කමක් උසුළයි.  මුල්කාලීන කිතුනු සංඝය දිව්‍ය පූජාව "රොටි කැඩීම" හා "අගාපේ භෝජනය" යන නම් වලින් හඳුන්වා ඇත.   

මුල්කාලීන කිතුනු සංඝය 
ජනවන්දනාව පිණිස රැස්‍වීම
"ස්වාමින් වහන්සේගේ දිනය" යනුවෙන් හඳුන්වන්නට යෙදුණු "සබත් දිනය" හෙවත් ඉරු දිනය මිථ්‍යා දෘෂ්ඨික ලෝකය තුළ "ඉරුගේ දිනය" ලෙස නම් විය. සූර්ය දේව වන්දනාව සඳහා මිථ්‍යා දෘෂ්ඨිකයන් ඔවුන්ගේ දේවාල වලට රැස්වන කල, කිතුනු සංඝය මෙසේ බිම් ගෙවල් තුළ හා උමං සොහොන් තුළ රැස් වෙමින් ඔවුන්ගේ ජනවන්දනා කටයුතු සිදු කළහ. ක්‍රිස්තු වර්ෂ මුල් සියවස තුළ කිතුනුවන් තුළ වූ එක් අපේක්ෂාවක් වූයේ ජේසුස් වහන්සේගේ මහිමාන්විත දෙවන ආගමනය පිළිබඳ බලාපොරොත්තුව ය. ".... අපි ස්වර්ගයේ පුරවැසියෝ වම්හ, අප ගළවන පිණිස ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්වර්ගයෙන් වඩින තෙක් අපි බලා සිටිමු", (පිලිප්පි 3 : 20) යනුවෙන් ශුද්ධ වූ පාවුළු තුමා පුකාශ කර ඇත. එය කිතුනු සංඝයේ මූලික අපේක්ෂාවය. එය උමං සොහොන් හා බිම් ගෙවල් තුළ දිවි ගෙවූ බොහෝ කිතුනුවන්ට ඔවුන් විඳි පීඩිත තත්ත්වය ඉවසීමෙන් දරා ගැනීමට රුකුලක් හා මහත් සැනසිලිදායක හැඟීමක් විය. ජේසුස් වහන්සේගේ මහිමාන්විත දෙවන ආගමනය සඳහා නිරතුරු සූදානමින් සිටීම ඉතා වැදගත් දෙයක් විය. ජේසුස් වහන්සේගේ දෙවන ආගමනය සිදුවන තුරු මෙලෙස "රොටි කැඩීමේ පිළිවෙත" පැවැත්වීමට  ක්‍රිස්තුස් වහන්සේ කළ නියමය පිළිපැදීම මේ මගින් සිදු විය. 
සාන්ත ඇගතා උමං සොහොනේ ජනවන්දනා ස්ථානය
".... දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ දී එය මුදුන්පත් වන තුරු මම එය තවත් නොවළඳමි", ".... මෙතැන් පටන්, දෙවියන් වහන්සේගේ රාජ්‍යය පැමිණෙන තුරු, මම මිදි යුෂ පානය නොකරන්නෙමි", යි (ලූක් 22 : 16, 18) ජේසුස් වහන්සේ අන්තිම රාත්‍රී භෝජනයේ දී සිය ශ්‍රාවකයන්ට ප්‍රකාශ කර තිබුණි. එනිසා ස්වකීය මරණයෙන් පසුව ජේසුස් වහන්සේ සමග ස්වර්ගීය භෝජනයකට (එනම් ස්වර්ගීය සැපතට) සහභාගිවීමේ ආශාව ඔවුන් තුළ තිබුණි. එසේම, ක්‍රිස්තුස් වහන්සේ, ශුද්ධ වූ සභාව හා පිවිතුරු ක්‍රිස්තියානි ධර්මවේදය වෙනුවෙන් වීරෝධාර ලෙස තම ජීවිතය පූජා කළ ශුද්ධවරයන්ගේ සාක්ෂි දැරීම ඔවුන්ට ජීවිතාදර්ශයක් විය. එම ශුද්ධවරයන්ට ගරු කිරීම සඳහාත්, ඒ සම්බන්ධයෙන් දෙවියන් වහන්සේට තුති ප්‍රශංසාව පිණිසත් මෙසේ ජනවන්දනාව පැවැත්වීම තවත් හේතුවකි.    
"අගාපේ රොටි කැඩීමේ පිළිවෙත" පැවැත්වීම 
පිළිබඳ පැරණි බිතු සිතුවමක් - (ක්‍රි.ව. 4 වන සියවස)
මෙම උමං සොහොන් වල දක්නට ලැබෙන බිතු සිතුවම් කිතුනු ලෝකයේ ඉපැරණි ඒවා ලෙසින් සැලකෙන නිසාත්, විශ්මයජනක සොහොන් ගෙවල් වල ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රමය නිසාත් උමං සොහොන් ඉතා කැපී පෙනෙන නිර්මාණයකි.  මෙම බිතු සිතුවම් පිළිබඳව අදහස් දක්වන විද්වතුන් පෙන්වා දෙන්නේ චිත්‍ර කලාව පිළිබඳ මනා අවබෝධයක් හා ප්‍රවීණත්වයක් තිබූ පුද්ගලයන් එකල කිතුනු සංඝය තුළ සිට ඇති බවත්, ඔවුන්ගේ චින්තන රටාව ඉන් විදහා දැක්වෙන බවත් ය. රළු අඳුරු උමං හා බිම් ගෙවල් තුළ පවතින අමිහිරි බව දුරු කිරීමට සමත් වී ඇති මෙම සිතුවම් එම උමං මිනිස් වාසයට සුදුසු ස්ථානයක් බවට පත් කිරීමට සමත් වී ඇත. උමං සොහොන් බොහෝමයක දැක්වෙන ‍බිතු සිතුවම් වල ශුද්ධ බයිබලීය සිදුවීම් හා එකල කිතුනුවන් බිම් ගෙවල් තුළ ගත කළ ජීවිත පිළිවෙල නිරූපණය කරයි. එවකට මුල් කිතුනු සංඝයේ පැවති විශ්වාසයන් ඉගැන්වීම් හා මුල් කිතුනු සභාවේ මූලික ලක්ෂණ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට මේවා ඉතා වැදගත් වේ. එහෙත් පෙර කී පරිදි මෙම උමං සොහොන් විවෘත කිරීමෙන් හා විවිධ පුද්ගලයන්ගේ ආත්මාර්ථකාමී ක්‍රියාවන් හේතුවෙන් මේවාට බොහෝ හානි සිදු විය. එබැවින් ඒවා සංරක්ෂණය කිරීමට විද්වතුන් විවිධ පියවර ගෙන ඇත.     
"කයි-රෝ" හා "ඉක්ත්හුස්" සළකුණ 
බොහෝ කිතුනුවන්ගේ උමං සොහොන් වසා ඇති ඉදිරිපස ගල් ලෑල්ලෙහි 'Chi-Rho' (Christogram) යන නමින් හඳුන්වන ලාංඡනය හෝ මත්ස්‍ය සළකුණ ඇඳ හෝ ‍උළුප්පා කොටා තිබෙනු දැකිය හැකිය. 'Chi-Rho' [කයි-රෝ] යනු උත්ථාන වූ ක්‍රිස්තුස් වහන්සේව සංඛේතාත්මකව පෙන්නුම් කරන P හා X යන අකුරු දෙකෙහි එකතුවකි. බොහෝ උමං සොහොන් වල මෙම ලාංඡනය කොටා තිබෙනු දැකිය හැකිය. 
ඇතැම් සොහොන් වල මෙම ලාංඡනය සෙන්ටිමීටර් 40 - 60 (අඟල් 16 - 24) දක්වා උසින් හා සෙන්ටිමීටර් 120 - 150 (අඟල් 47 - 59) දක්වා දිගින් යුතු වූවකි. මෙම ලාංඡනය දිස්වෙන සොහොනේ කිතුනු ඇදහිළිවන්තයෙකු සැතපී සිටින බව පෙන්නුම් කිරීම මෙහි අදහසය. 
මීට අමතරව බොහෝ උමං සොහොන් වල මත්ස්‍ය සළකුණක් දැකිය හැකිය. මෙම මත්ස්‍ය සළකුණ "ඉක්ත්හුස්"  (Ichthus) යන නමින් හඳුන්වයි. "ඉක්ත්හුස්" යනු ග්‍රීක භාෂාවෙන් මත්ස්‍යයාට යෙදෙන නාමයයි. රෝමානු අදහස හැටියට මත්ස්‍යයා උපත් හා විපතේ සංඛේතයකි. මෙම "ඉක්ත්හුස්" සළකුණෙහි ඇති අර්ථය කුමක්ද? මෙහි ඇති වැදගත්කම කුමක්ද? මෙය ක්‍රිස්තියානි ලෝකයට සම්බන්ධ වූයේ කෙසේද? යන්න සොයා බැලීම වඩා උචිතය. ජේසුස් වහන්සේ පන්දහසකට ආහාර දුන්‍ අවස්ථාවේ මසුන් දෙදෙනෙකු ද ආසිරි ගන්වා බෙදා දුන් බව (ලූක් 9 : 13 - 16) සුභාරංචි පොත් වල සඳහන් ‍වී ඇත. එසේම ජේසුස් වහන්සේගේ ශ්‍රාවකත්වයට කැඳවීම ලැබූ ප්‍රථම ශ්‍රාවකයන් තිදෙනා ධීවරයන් බව ද සඳහන් වී ඇත. (ලූක් 5 : 1 - 11) එම නිසා කිතුනු ලෝකයට මෙම මත්ස්‍ය සළකුණ සම්බන්ධ වී යැයි සමහරු කල්පනා කරති. එසේ සිතන්නේ නම් එය වැරදි සංකල්පනාවකි. "ඉක්ත්හුස්" සළකුණ කිතුනු ලෝකයට සම්බන්ධ වූයේ කිතුනු සභාවේ මුල් කාලයේ ඇති මහා කිතුනු පීඩනය හා ප්‍රාණ පරිත්‍යාගී සමයත් සමගය. "ඉක්ත්හුස්" යන්න ග්‍රීක භාෂාවේ වචන කිහිපයකින් යුත් වාක්‍යයක මුල් අකුරු කිහිපය එකට එකතු කිරීමෙන් සෑදුණ වචනයකි. එය මෙසේය.
    I             X(ch)          O(th)           U                  S 
Iesous  Christos   Theou    Uious      Soter
'ඉයෙසුස්'      'ක්‍රිස්තොස්'       'තෙයු'         'හුයියොස්'           'සෝතෙර්'
 ජේසුස්    ක්‍රිස්තුස්     දේව     පුත්‍රයාණෝය,       ගැළවුම්කරුවාණෝය

මෙම සංකල්පය මතෙව් 16 : 16 හි දැක්වෙන පේදුරු තුමාගේ මහා ප්‍රකාශනය වේ. මෙහි දැක්වෙන I X O U S යන අකුරු එකතු කළ විට "ඉක්ත්හුස්" යන වචනය සෑදේ. එහි අර්ථය "මත්ස්‍යයා" යන්නය. මෙම සළකුණ රැගත් උමං සොහොන් රාශියක් හමුවීම නිසා එය පිළිබඳව පුරා විද්‍යාඥයන්ගේ හා ඉතිහාසඥයන්ගේ අවධානය යොමු විය. ඒ පිළිබඳව කළ පර්යේෂණ වලින් අනාවරණය කරගත් තොරතුරු වලට අනුව එය මුල්කාලීන කිතුනුවන් තම කිතුනු අනන්‍යතාවය රහස්‍යමය ලෙස එකිනෙකාට ප්‍රකාශ කිරීමට යොදා ගත් අභිරහස් සංඛේතයක් බව හඳුනා ගැණිනි. මෙම සළකුණ ඉපැරණි කිතුනු උමං සොහොන් වල පමණක් නොව, ඇතැම් නිවෙස් වල ඉදිරිපස බිත්ති වල ද දැකීමට හැකිය. ඔවුන් මෙවැනි සංඛේතයක් යොදා ගැනීමට හේතුව කුමක්ද?  මුල්කාලීන රෝමානු සමාජය තුළ ක්‍රිස්තියානි ධර්මය ඇදහීම තහනම් වූවක් නිසා, තම කිතුනු ආගමික සළකුණ වශයෙන් කුරුසිය භාවිත කිරීමට නොහැකි විය. එනිසා කිතුනුවන් තම ඇදහිල්ල ප්‍රකශ කිරීමටත්, තමන්ගේ කිතුනු අනන්‍යතාවය අන් අයට හඳුන්වා දීමටත් මෙම මත්ස්‍ය සළකුණ යොදා ගත්හ. පහත දැක්වෙන රූප සටහන දෙස බලන විට පෙනී යන්නේ, එහි ඇතුළත් P X සළකුණ හා "ඉක්ත්හුස්" සංඛේතයයි.

මෙම "ඉක්ත්හුස්" සළකුණ ආදිකාලීන කිතුනුවන් ලබාගෙන ඇත්තේ ඇලෙක්සැන්ඩ්‍රියාව, ඊජිප්තුව හා පැරණි රෝමයේ මිථ්‍යා දෘෂ්ඨිකයන්ගේ ඇදහිළිවල ආභාෂයෙන් බව ඇතැම් ඉතිහාසඥයන්ගේ මතය යි. (3) නමුත් කිතුනුවන් මෙම 'ඉක්ත්හුස්' සළකුණ යොදා ගත්තේ පැරණි මිථ්‍යා දෘෂ්ඨික සංකල්පය සම්පූර්ණයෙන් බැහැර කර කිතුනු සංකල්පය වන "ජේසුස් ක්‍රිස්තුස් දේව පුත්‍රයාණෝ, ගැළවුම්කරුවාණෝ" යන්න ප්‍රකාශ කිරීමට ය. පොදුවේ මෙම මත්ස්‍ය සංඛේතය විවිධ මිථ්‍යා දෘෂ්ඨික ආගමිකයන් අතර ඉතා ප්‍රසිද්ධව පැවති නිසා, එය කිතුනු සංඛේතයක් හැටියට යොදා ගැනීමෙන් කිතුනු විරෝධී පීඩකයන්ගෙන් ආරක්ෂා වීමට සුදුසු පිළියමක් හා ක්‍රමයක් විය. උමං සොහොන් වල 'ඉක්ත්හුස්' සළකුණ යොදා තිබීමෙන් ඒවා මිථ්‍යා දෘෂ්ඨිකයන්ගේ සොහොන් විය නොහැකිදැයි කෙනෙකුට ප්‍රශ්නයක් පැන නැගීමට පිළිවන. මෙම 'ඉක්ත්හුස්' සළකුණ මිථ්‍යා දෘෂ්ඨික ආගම් වල ශුද්ධ වූ සළකුණක් ලෙස සැලකූ බැවින් ඔවුන් එය කිසිසේත් ම සොහොන් කොත් සඳහා නොයෙදූහ. එනිසා එය කිතුනුවන්ගේ ආගමික අනන්‍යතාවය නිරූපණය කිරීමට යෙදූ රහස්‍ය සංඛේතයක් බව බොහෝ විද්‍යාඥයන්ගේ මතය හා පිළිගැනීම වේ.      

  'ඉක්ත්හුස්' සළකුණ යෙදීමට බලපෑ හේතු සාධක
ජේසුස් වහන්සේගේ ස්වර්ගාරෝහණයෙන් පසුව ජුදෙව්වරුන්ට බියෙන් සැඟවී සිටි අපෝස්තුළුවරුන් වෙත පෙන්තකොස්ත දින දී ශුද්ධාත්මයාණන් වහන්සේගේ වැඩම කිරීමන් පසුව ඔවුන් වඩාත් ධෛර්යයමත්ව, බිය ,සැකය හා අවිශ්වාසය දුරුවී ක්‍රිස්තුස් වහන්සේගේ ශක්තිය ලොවපුරා ව්‍යාප්ත කිරීමට උත්සහ දැරූහ. එහෙත් ඔවුන්ට මෙම ධර්මදූත කාර්යයේ යෙදීම පහසු දෙයක් නොවීය. බොහෝ තාඩන පීඩන,  
අභියෝග හා බාධක මැද ඔවුන්ට ධර්ම ප්‍රචාරයේ යෙදීමට සිදුවිය. ඊට බලපෑ ප්‍රධන හේතු සාධකය වූයේ, රෝම අධිරාජ්‍යය තුළ ක්‍රිස්තියානි ධර්මය තහනම් වූ ආගමක් බවට පත්වීමය. විශේෂයෙන් නීරෝ (ක්‍රි.ව.  54 - 68) (දකුණු රූපය) නැමති රෝම අධිරාජ්‍යයාගේ කාළයේ පටන්, දියොක්ලේෂියන් අධිරාජ්‍යයා (පහත රූපය)  (ක්‍රි.ව. 284 - 305) [Click Here] දක්වා කාළය තුළ "ක්‍රිස්තියානි ධර්ම‍යේ අදුරු පීඩන යුගය " ලෙස හැඳින්වීමට පිළිවන. මෙම කාල පරිච්ඡේදය තුළ අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ කිතුනුවන් සංඛ්‍යාව අපමණය. ක්‍රිස්තියානි ධර්මය තහනම් වූ ආගමක් බැවින් එය ඇදහීම
  • සිරගත කරනු ලැබීමට හෝ
  • රටින් පිටුවහල් කිරීමට හෝ
  • කුරුසපත් කිරීමට හෝ
  • ඒ සියළු දඩුවම් සමඟ දේපල රාජසන්තක කිරීමට 
තරම්වූ බරපතල වරදක් ලෙස සළකූහ. රෝම අධිරාජ්‍යය තුළ ක්‍රිස්තියානි ධර්මය තහනම් ආගමක් වීමට බලපෑ ප්‍රධාන හේතු සාධක කිහිපයක් විය. 
  1. ඊජිප්තුව ජය ගත් ජුලියස් සීසර් විසින් මිසරයේ තිබූ රටේ රජතුමාව දෙවියන් සේ සැලකීමේ ඉපැරණි සංකල්පය රෝමයට හඳුන්වා දෙන ලද්දේ ය. සීසර්ව ''අනභිභවනීය දෙවියන්'' ලෙසින් සැලකීම හෙවත් ''අධිරාජ්‍යය දේව වන්දනාව '' (අධිරාජ්‍යයාව දෙවියන් ලෙස සැළකීම ) තවදුරටත් රෝම අධිරාජ්‍යය තුළ ක්‍රියාත්මක කිරීමට උත්සහ දැරූ නීරෝ [Click Here]වැනි රාජ්‍ය පාලකයන්ගේ "සීසර් අභිවන්දනය" කිරීමේ නියෝගය දස පණතේ පළමු වගන්තියට විරුද්ධ වූ පාපී ක්‍රියාවක් වූ බැවින් කිතුනුවන් විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබීය. රාජ නියෝගයට අකීකරුවීමේ ප්‍රතිඵලය මරණය හිමිවීම ය.
  2. ක්‍රිස්තියානි ධර්මය හා කිතුනුවන් පිළිබඳව රෝම සමාජය පුරා පැතිරී ගිය විකෘති, වැරදි කටකතා නිසා ඔවුන්ව පිටු වහලුන්  හා මිලේච්ඡයන් ලෙසින් සැලකීමට හේතු විය. නීරෝගේ පාලන කාලයේ දී රෝම සෙබළුන් නගරය පුරා චර පුරුෂ සේවයේ යෙදෙමින් රජුට විරුද්ධ කුමන්තුණකරුවන් හා අධිරාජ්‍ය විරෝධී ක්‍රියාවන් ගැන රෝම අධිකාරියට වාර්තා කළ යුතු විය. නිවෙස් තුළ රහසිගතව දිව්‍ය පූජාව පැවැත්වූ කිතුනුවන්, "මේ මාගේ ශරීරය" ය, "මේ මාගේ රුධීරය" ය වැනි වචන ප්‍රකාශ කරන කල ඒ ගැන කිසිත් නොදත් චර පුරුෂයන් නිවස තුළ සිදුවන ක්‍රියාව නොදැක කල්පනා කළේ එතැන මිනී මැරීමක් සිදුකර හා මිනිස් මාංශ අනුභව කර , මිනිස් රුධිරය පානය කරන ම්ලේච්චයන් පිරිසක් සිටින බව ය. එනිසා ශිඨාචාරවත් රෝම සමාජයට කිතුනුවන්ව පෙනී ගියේ ඔවුන්ගේ දේව ඇදහිළි වලට පටහැනි දේ අදහන මිථ්‍යා දෘෂ්ඨික අමනුස්සයන් පිරිසක් ලෙසිනි.
  3. ‍රෝම සෙනෙට් සභාවේ සිටි සභිකයන් කවදත් ප්‍රිය කළේ කොන්සල් ධූරයට ය. ඊජිප්තුවේ දේශපාලනික ආභාෂය ලත් ජූලියස් සීසර් අධිරාජ්‍යයෙකු වීමට ප්‍රිය කළේ ය. එහෙත් තම බලතල හා අයිතිවාසිකම් අහිමිවන එම අධිරාජ්‍යය ක්‍රමයට සෙනෙට් සභිකයන් විරුද්ධ වූහ. එවැනි අධිරාජ්‍යවාදී ආකල්ප වලින් විකෘති මනසක් ඇතිව සිටි ‍නීරෝ වැනි රෝම අධිරාජ්‍යයන්ට එරෙහිව රහසිගත කුමන්ත්‍රණ මෙහෙය වූහ. එහෙත් රජුගෙන් ඔවුන් තමන්ගේ ආරක්ෂාව තකා මෙම කුමන්ත්‍රණ වලට වගකිව යුත්තෝ කිතුනුවන් ලෙසින් පෙන්වා දුන්හ. එනිසා කිතුනුවන් යනු නීරෝ රජුට ඉතා අප්‍රසන්න වූ පිරිසක් විය.
  4. ඇතැම් රෝම අධිරාජ්‍යයන් කිතුනුවන්ට තම සතුරන් ලෙසින් සැළකූ අතර, තම පෞද්ගලික ආත්මාර්ථකාමී අරමුණු සාක්ෂාත් කර ගැනීමට කිතුනුවන් පිට වරද පටවමින් ඔවුන්ට දඩුවම් කළහ. තම නමින් නව පුරවරයක් ඉදි කිරීමේ ආශාවෙන් පෙළී, ක්‍රිස්තු වර්ෂ 64 දී රෝමයට ගිනි තැබීමට සැලැස්වූ නීරෝ සෙනෙට් සභාවෙන් එය සැඟවීමට එම වරද කිතුනුවන් පිට පැටවීය.(4) මැක්සිමියන්, වැලේරියන් හා දියොක්ලේෂියන් වැනි රෝම අධිරාජ්‍යයන් කිතුනුවන් වහල්කමට, යුධ කටයුතු වලට හා ග්ලැඩියේටර් මාරාන්තික සටන් ක්‍රීඩාව සඳහා යොදා ගත්හ. දියෝක්ලේෂියන්ගේ පාලන කාලය තුළ මරණයට පත් කිතුනුවන් සංඛ්‍යාව කොපමණ ද යත්, ටූර්ටලියන් නමැති ඉතිහාසඥයා පෙන්වා දෙන පරිදි කිතුනුවන්ව ඝාතනය කිරීමෙන් රෝම සෙබළුන්ගේ කඩු හා පොරෝ තල මොට්ට වූ බව කියයි. සාන්ත සෙබස්තියන් නමැති රෝමානු සෙන්පති කිතුනුවා ප්‍රාණ පරිත්‍යාගී වූයේ මේ කාලයේ දී ය.  
මෙවැනි හේතු සාධක නිසාවෙන් රෝමයේ සිටි කිතුනුවන් දැඩි හිංසනයට හා පීඩිත කෲර මරණයට මුහුණ දුන්හ. කුසගින්නේ තැබූ සිංහයන් හා ව්‍යාඝ්‍රයන් වැනි වන සතුන්ට පණ පිටින් ඉරා මරාගෙන කෑමට සැලැස්වීම, ග්ලැඩියේටර් මාරාන්තික සටන් සඳහා කිතුනු පුරුෂයන්ව යෙදවීම, කුරුසපත් කිරීම, ගෙළ සිඳීම, ගිනි පෝරණුවේ පිළිස්සීම හා රාත්‍රියේ නගර හා නෘත්‍යශාලා ආලෝකකරණය සඳහා ගිනි පන්දම් ලෙසින් තෙල් වැගිර වූ කිතුනුවන්ගේ ශරීර දැවීම යනාදිය මෙකල කිතුනුවන්ට දුන් වධ හිංසා අතර ප්‍රධාන වෙති. 
ලෝක ප්‍රසිද්ධ රෝමයේ කොලෝසියම කිතුනුවන් දහස් ගණනින් ඝාතනය ලක් වූ ස්ථානයකි. (පාද නමස්කාරය පිළිබඳ බ්ලොග් ලිපියේ පෙන්වා දුන් පරිදි, දෙවන ජුවාම් පාවුළු පාප්තුමා මෙම ස්ථානයේ ප්‍රාණ පරිත්‍යාගී වූ කිතුනුවන් හා ශුද්ධවරයන්ගේ ගෞරවය පිණිස දිව්‍ය පූජාවක් ද පවත්වා ඇත.) මේ හේතුවෙන් බොහෝ කිතුනුවන්ට තම ආගම ධර්මය වෙනුවෙන් ප්‍රාණ පරිත්‍යාගීවීමට සිදු විය. එවකට කිතුනුවන් කොපමණ දුක් ගිනි මැද ජීවත් වන්නට ඇත්ද යන්නත්, තම අඹු දරුවන් හා නෑ හිතවතුන් අමානුෂික ලෙස අධිරාජ්‍යයා ඉදිරියෙහි ඝාතනයට ලක් වන විට ඔවුන් පත්වූ මානසික පීඩාකාරී තත්ත්වය නූතන අපට අවබෝධ කර ගැනීමට අපහසු තරම් ය.  
කිතුනු සභාව නූතන තත්ත්වයට පා තබා ඇත්තේ මල් මැදින් වන පහසු මෘදු මාවතක් ඔස්සේ නොවන බව අමතක නොකළ යුතුය. පළමුව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරයෙන් කළ ජීවිත පූජාව ය. ඉන්පසුව අපෝස්තුළුවරුන් ඇතුළු ප්‍රාණ පරිත්‍යාගීවරුන් ය. ජේසුස් වහන්සේ අපෝස්තුළුවරුන් මගින් ශුද්ධ වූ සභාවට දායාද කළ පිවිතුරු කතෝලික ධර්මය විනාශ කිරීමට හා විකෘති කිරීමට උත්සහ දැරූ පුද්ගලයන්ගෙන් ද පසුකාලීනව ශද්ධ වූ සභාවට විවිධ අභියෝග එල්ල විය. සිය ජීවිත පූජාවෙන් හා බොහෝ දුෂ්කර ක්‍රියා මාර්ග තුළින් ආරක්ෂා කළ කිතුනු සභාවේ සාමාජිකයන් වන අප අපගේ පිවිතුරු ධර්මය නිසි‍ ලෙස පිළිපදිමින් කිතුනු සභාවේ අභිවෘද්ධිය පිණිස ඇප කැප විය යුතු නොවේද?   





------------- වැඩිදුර සටහන් --------------
(1) මාශෝත්ථානය යනු ‍ජේසුස් වහන්සේගේ දේවන ආගමනයේ දී මහා විනිශ්දයට මුහුණ දීම සඳහා මළාවුන් තමන්ගේ ශරීර රැගෙන නැවත උත්ථානයට පත්වීම ය. මෙහි ශුද්ධ වූ සභාවේ පරම විශ්වාසයකි.  
(2) Catacombs of Rome open to the public
INFORMATION FOR THE VISIT*
Visiting hours:
9:00 – 12:00; 2:00-5:00 p.m. (5:30 during daylight saving time)
Admission fee:
Full price € 6 - Reduced price € 3
The admission fee includes a guided visit.
The reduction is for school groups with a letter of presentation from the principal of their Institution, and groups of catechetical instruction and preparation for the sacraments as well as children under 15 years of age and military personnel in uniform or with a military ID card.
To celebrate Mass at the catacombs, please contact directly the Directors of the respective catacombs.
*Valid for the catacombs of St. Callixtus, St. Sebastian, Domitilla, Priscilla and St. Agnes. The latter has slightly different visiting hours than the others 

The Pontifical Commission for Sacred Archaeology (when the conditions of the monument permit this) also offers the possibility to students, individual scholars and Cultural Associations to have access to the catacombs that are normally closed to the public only if such visits have a real and exclusive cultural purpose, and so no profit motive is admitted. Moreover, the dissemination by the Associations - through the press, radio or other media - of the visits requested gives this Pontifical Commission the faculty to revoke the permit granted immediately. For access to these monuments it is necessary to adhere scrupulously to the following instructions:
a) The request, which must arrive at least 20 days before the date of the visit, has to be sent in writing to the attention of the Secretary of the Pontifical Commission for Sacred Archaeology, and specify the monument one intends to visit, the date, the time, the possible presence of an archaeological guide, and the number of persons. The authorization is granted at the sole discretion of the Secretary.
b) For these visits, the presence of a grave-digger designated by this Pontifical Commission and assigned to the service of custodianship and assistance is compulsory. The applicant is wholly responsible for the fees for this person’s presence at the following rate:
1. The grave-digger’s fee for being called, which includes a 75-minute visit for each group, is € 100. This fee must be paid - after previous phone agreement - in the days preceding the visit at the office of the Commission (from Monday to Friday from 8:00 a.m. to 2:00 p.m.), or by bank transfer:
From abroad to
Banca Monte dei Paschi di Siena S.p.A.
AG. 41 ROME
(IBAN) IT 16 S 01030 03241 000000098035
(BIC) PASCITM1R41
In the name of the Pontifical Commission for Sacred Archaeology
In the reason for payment, the protocol number of the document must be indicated.

From Italy to
Banca Monte dei Paschi di Siena
AG. 41 ROME
c/c No. 98035
cod. ABI 01030; cod. CAB 03241; cod. CIN S
In the name of the Pontifical Commission for Sacred Archaeology
In the reason for payment, the protocol number of the document must be indicated.

2. for each hour or fraction of an hour over the 75-minute visit, the sum of € 25 must be paid as compensation, which will be calculated after the day of the visit.
c) for guided visits with an explanatory lesson by an archaeological guide, in addition to the costs in point 1.b.1, there is a fee of € 120 for each group which must be paid together with the cost of the visit.
We remind you that:
1. The group of visitors allowed into the catacombs must not exceed 15 persons.
2. If any damage to places or persons should occur during the visit, the applicant is required to compensate for the damages caused.
3. It is strictly forbidden to introduce photographic machines and video cameras into the catacomb. Any transgression of this rule will result in the immediate suspension of the visit.
4. The visit can be cancelled by sending a written communication by fax or e-mail within and no later than 3 working days before the date of the visit. If no cancellation is received, the obligation to pay for the visit remains.
5. In the event that the visit is cancelled by the Pontifical Commission for reasons beyond its control and with no possibility to notify the applicant in good time, it is understood that the Pontifical Commission for Sacred Archaeology will grant another visit on another date agreed upon with the applicant. Therefore, the Pontifical Commission for Sacred Archaeology is exonerated from compensating any payment made by the applicant.
The participants are also asked to wear comfortable shoes and to each bring a flashlight for illumination.
(3) චීනයේ මහා මාතාව (Great Mother - 'Kwan-Yin') මත්ස්‍යයෙකුගේ විලාශයෙන් දක්වයි. ඉන්දියාවේ කාලි දේවතාවිය 'මත්ස්‍ය ඇස' යන අරුත දෙයි. ඊජිප්තුවේ 'අයිසිස්' (Isis) 'පාතාලයේ මහා දෙවියන්' මත්ස්‍ය සළකුණෙන් දක්වයි. පැරණි ස්කැන්ඩිනේවියානු දේවතාවියක වූ 'ෆ්‍රෙයා' (Freya) නම් දෙවඟනගේ ගෞරවය පිණිස ඇගේ බැතිමතුන් මංගල්‍ය දින දී මසුන් අනුභව කරති. සුළු ආසියාවේ එපීසය නම් ප්‍රදේශයේ දේවිතාවියක්ව මත්ස්‍ය සළකුණ රැගත් සුරයක් ඇගේ ජනනේද්‍රිය හරහා දමා තිබේ.
(4) Roman historian Cornelius Tacitus recorded information pertaining to Jesus, thus removing the only supporting source for His existence as being in the New Testament. In 115 A.D., Tactius wrote about the great fire in Rome; "Consequently, to get rid of the report, Nero fastened the guilt and inflicted the most exquisite tortures on a class hated for their abominations, called Christians by the populace. Christus, from whom the name had its origin, suffered the extreme penalty during the reign of Tiberious at the hands of one of our procurators, Pontius Pilatus, and a most mischievous superstition, thus checked for the moment, again broke out not only in Judea, the first source of the evil, but even in Rome, where all things hideous and shameful from every part of the world find their center and become popular. Accordingly, an arrest was first made of all who pleaded guilty; then upon their information, an immense multitude was convicted, not so much of the crime of firing the city, as of hatred against mankind. Mockery of every sort was added to their deaths, Covered with the skins of beasts, they were torn by dogs and perished, or were nailed to crosses, or were doomed to the flames and burnt, to serve as a nightly illumination, when daylight had expired. Nero offered his gardens for the spectacle, and was exhibiting a show in the circus, while he mingled with the people in the dress of charioteer or stood aloft on a car. Hence, even for criminals who deserved extreme and exemplary punishment, there arose a feeling of compassion; for it was not, as it seemed, for the public good, but to glut one man's cruelty, that they were being destroyed.
     

කිතුනු පීඩනයේ වගතුග - 2

නීරෝ අගරජු සමයේ ප්‍රාණපරිත්‍යාගී වූ කිතුනුවෝ
(මෙම ලිපියේ පළමු කොටස 2010 සැප්තැම්බර් 11 දින පළ විය.) ඔගස්ටස් සීසර් [1] අග රජුගේ මූලිකත්වයෙන්, ''ගඩොලින් තිබී කිරිගරුඬින් සැරසූ රෝමය" බිඳ දමා නව නුවරක් ඉදි කිරීමට අපේක්ෂා කළ නීරෝ [NERO CLAVDIVS CAESAR AVGVSTVS GERMANICVS] [2] මහ රජුගේ සිහිනය සැබෑ කර ගැනීමට තිබූ ප්‍රධාන බාධකය වූයේ රෝමානු සෙනෙට් සභාවය. කිතුනුවන්ගේ ශිලධාර්මික ප්‍රතිපත්ති හා ආගමික විශ්වාසයන් පිළිබඳව රෝමානු සෙනෙට්වරුන් අප්‍රසාදයෙන් සිටින බව හොඳින් දැන සිටි නීරෝ එයින් ප්‍රයෝජන ගනිමින්, තම අපේක්ෂාව මුදුන්පත් කර ගැනීම සඳහා එක් රාත්‍රියක දී රෝම පුරවරයට රහසිගතව ගිනි ලවා, එම වරද කිතුනුවන් වෙත පැවරීය. ‍රෝම සෙනෙට්වරුන් සතුටු කිරීමේ අදහසින් රෝම අධිරාජ්‍යය තුළ ක්‍රිස්තියානි ධර්මය ඇදහීම සම්පූර්ණයෙන් තහනම් කොට, අත්අඩංගුවට පත් වන සියලු කිතුනුවන්ට ප්‍රසිද්ධියේ කෲර දඬුවම් පමුණුවමින් දැඩි හිංසනය ව්‍යාපාරයක් දියත් කළේ ය. මෙය ඔහුගේ යටි අරමුණු කිහිපයක් මුදුන්පත් කරගැනීමට ගත් ක්‍රියා මාර්ගයක් විය. 
එනම්,
  1. රෝම පුරවරයෙන් අඩක් ගින්නෙන් දවාලීමේ චෝදනාවෙන් නිදහස් වීම
  2. තමන්ට එරෙහිව සිටින සෙනෙට්වරුන් හා රහසිගත කුමන්ත්‍රණ-කරුවන්ට අනතුරු හඟවා බිය ගැන්වීම
  3. නීරෝව "අනගිභවනීය දෙවියන්" ලෙස පිළිගැනීම හෙළා දුටු කිතුනුවන්ගෙන් පලිගැනීම
  4. බහු දේවතා වන්දනාව කරමින්, කිතුනුවන්ට එරෙහිව සිටි රෝමානු සෙනෙට්වරුන්ව සතුටු කරමින් තමන්ට පක්ෂපාතී කරගැනීම
යනාදිය වෙති. නීරෝගේ පාලන සමයේ දී අත් අඩංගුවට පත් කිතුනුවන්ව                                   
  • කුරුසපත් කිරීම,
  • මැරූ මෘගයන්ගේ සම් තුළ බහා දරුණු වන මෘගයන්ගේ ආහාරය සඳහා විසි කිරීම,
  • ටයිබර් නදියේ ගිල්වීම,
  • නිරාහාර සිංහයන්ට හා ව්‍යාඝ්‍රයන්ට ගොදුරු ලෙස දීම
  • දරුණු මෘගයන් සමග මාරාන්තික පොර බැදීම් වලට යෙදවීම,
  • කිතුනුවන්ව කණු වලට තබා බැඳ ඔවුන්ගේ ශරීර වලට තෙල් වත්කර රාත්‍රියේ නගර හා රංග පීඨ ආලෝක කිරීම පිණිස ගිනි පන්දම් ලෙස යොදා ගැනීම
  • කිතුනු කාන්තාවන්ව බලාත්කාරයෙන් රෝම සෙබළුන් හා නිළධාරීන්ගේ පහත් කාම තෘෂ්ණා සංසිඳුවා ගැනීමට ලිංගික වධ හිංසනයට යෙදවීම
  • ග්ලැඩියේටර් මාරාන්තික සටන් සඳහා යෙදවීම
වැනි දරුණු වධබන්ධන වලට ලක් කෙරුණි.[3] අපෝස්තුළුවරුන්ගෙන් කිහිප දෙනෙකු ප්‍රාණපරිත්‍යාගී වූයේ නීරෝගේ කිතුනු සංහාරයේ දී ය. අත් අඩංගුවට පත් සාන්ත පේදුරු තුමාව හා සාන්ත පාවුළු තුමාව එකම දිනක දී ස්ථාන දෙකක දී ආකාර දෙකකට මරා දැමීය. රෝමයේ පුරවැසිභාවය ලබා සිටි පාවුළු තුමාගේ හිස ගසා දැමුණි. [කළු සුදු ඉහළ දකුණු පස රූපයේ දැක්වෙන්නේ ශුද්ධ වූ පාවුළු තුමාගේ හිස ගසා දැමීමය.] මන්ද, රෝමානු නීතියට අනුව රෝම වැසියන් හා රෝමයේ පුරවැසිභාවය ලබා සිටි අයට එහි තිබූ මහත් වරප්‍රසාද නිසා නින්දිත කුරුසපත් කිරීම සිදු නොකළේ රෝමවරුන්ට අවමානයක් ලෙස සැලකූ නිසාය.
( විදේශිකයෙකු ලෙසින් සැලකුණු පේදුරු තුමාව කුරුසපත් කිරීමට යාමේ දී, තම ගුරු දේවයන් වූ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේට අගෞරවයක් නොවනු පිණිස හිස පහතටත්, දෙපා ඉහළටත් වනසේ උඩු යටිකුරු කළ කුරුසියක ඇණ ගැසීමට කළ ඉල්ලීම පරිදි ක්‍රිස්තු වර්ෂ 67 ජුනි 29 දින කුරුසපත් කෙරුණි.[වම් පස වර්ණ සිතුවම පේදුරු තුමාගේ කුරුසපත් කිරීම පෙන්වයි.] [4] පේදුරු තුමාගේ සහෝදරයා වූ අන්ද්‍රේ තුමාව ද ඉංග්‍රීසි හෝඩියේ X අකුර හැඩැති කුරුසියක ඇණ ගසා මරා දැමුණේ ද[5] නීරෝගේ පාලන සමයේ දී ය. කතෝලික සභාවේ පළමුවන ප්‍රාණ පරිත්‍යාගීවරයා ලෙසින් සැලකෙන සාන්ත ස්තේපන් තේවාචාර්ය තුමා ද දිවි පිදුවේ නීරෝගේ දුෂ්ඨ නීතියට යටත්ව ය. මද මානසික රෝගී ස්වභාවයකින් පෙළුණු නීරෝ කිතනුවන්ව මෙසේ මරා දැමීමෙන් තම මානසික පීඩනය දුරු කරගත් අතර, කිතුනුවන් බිය වැද්දීමට ද සමත් විය. කිතුනුවන්ට ඔවුන්ගේ ආරක්ෂාව පතා බිම් ගෙවල් හා උමං සොහොන් සොයා යාමට සිදු වූයේ නීරෝගේ මෙම අනීති කෲර ආගමික පිළිවෙත නිසා ය.

ඩොමිෂියන් අගරජු‍ සමයේ ප්‍රාණ පරිත්‍යාගී වූ කිතුනුවෝ 

ඩොමිෂියන් [TITVS FLAVIVS CAESAR DOMITIANVS AVGVSTVS] [6]අධිරාජ්‍යයාගේ පාලන කාල‍ය ක්‍රිස්තු වර්ෂ 94 - 96 දක්වා වූ කෙටි කාල සීමාවකි. නීරෝ මෙන් "අධිරාජ්‍ය වන්දනාව" කෙරෙහි ඇදී ගිය ඔහු, කිතුනුවන් අනුගමනය කළ සහෝදර ප්‍රේමය, වෘත ශුද්ධිය, දේවභය හා දේව භක්තිය වැනි ක්‍රිස්තියානි වටිනාකම් නොරිස්සූ බැවින්, ක්‍රිස්තු වර්ෂ 94 දී කිතුනුවන් මරණයට පත් කිරීමේ හිංසන ව්‍යාපරයක් දියත් කළේය. කිතුනුවන්ට නීරෝ පැමිණ වූ ආකාරයේ හිංසාවන් හා මරණ දඬුවම් ක්‍රම භාවිත කළේය. අපෝස්තුළුවර ජොහාන් තුමාව පෙරුසලමේ දී අත් අඩංගුවට ගෙන රෝම පුරවරයට සිරකරුවෙකු ලෙසින් ගෙන ගොස්, "ලතින් දොරටුව" නමැති ස්ථානයේ දී උණු තෙල් කටාරමක බහාලූ නමුත්, විශේෂ අනුග්‍රහ දේව වරප්‍රසාදයකින් දිවි ගළවා ගත්තේ ය. ජොහාන් තුමාව මරණයට පත් කිරීමට නොහැකි වූ බැවින් ඩොමීෂියන් රජ එතුමාව "පැටමෝස්" නම් දිවයිනට පිටුවහල් කළේය. එහිදී එතුමා දුටු විශේෂ දර්ශන මාලාව පදනම් කරගෙන "එළිදරව්ව" නමැති ශුද්ධ බයිබලීය ග්‍රන්ථය රචනා කළේ යැයි කිතුනුවන්ගේ පිළිගැනීමය.

ට්‍රාජන් අගරජ සමයේ ප්‍රාණ පරිත්‍යාගී වූ කිතුනුවෝ
ට්‍රාජන් අධිරාජ්‍යයාගේ [CAESAR MARCVS VLPIVS NERVA TRAIANVS AVGVSTVS] [7] පාලන කාලය ක්‍රිස්තු වර්ෂ 98 - 117 අතර කාලයට අයත් වේ. ඩොමීෂියන් අගරජුගේ මරණයෙන් පසුව කිතුනුවන්ට මද කලකට සිත් සමාදානයෙන් හා සැනසිල්ලෙන් කල් ගත කිරීමට හැකි විය. මෙම සුළු කාලය තුළ කිතුනුවන්ට ධර්මප්‍රචාරයට හා ප්‍රසිද්ධ දේව වන්දනාවට අවසරයක් හෝ ඉඩ ප්‍රස්ථාවක් නොලැබුණ ද, කිතුනු පීඩනයක් නොවීය. එහෙත් ට්‍රාජන් අධිරාජ්‍ය පදවියට පත්වීමත් සමගම ඔහු, රෝම වැසියන් මිථ්‍යා දෙවි දේවතාවන්ට පුද පූජා පැවැත්විය යුතු යැයි නියෝගයක් පැණ වීය. ඒකදේවවාදීන් වූ කිතුනුවන් එය ප්‍රතික්ෂේප කළෝය. මේ පිළිබඳව කෝපයට හා නොසන්සුන්තාවයට  පත් ට්‍රාජන් රජු තමන්ට පෙර සිටි අග රජවරුන් පැණ වූ මරණ දඬුවම් ක්‍රම හා හිංසන ක්‍රමවේද නැවත කිතුනුවන් වෙත පමුණුවීමට නියම කළේය. මෙය කොපමණ දරුණු තත්ත්වයට පත් වූවය් ද කිවහොත්, ආගමික නාමයෙන් කිසිඳු රැස්වීමක් පැවැත්වීමට ද ඉඩ නොතැබීය. එනිසා එවකට සිටි කිතුනුවන්ට නැවත බිම් ගෙවල් හා උමං සොහොන් කරා ඇදී යාමට සිදු විය. සිරියාවේ ඇන්ටියෝර්ක් හි සිටි සාන්ත ඉග්නේසියුස් තුමාව ක්‍රිස්තු වර්ෂ 109 දී මරණයට පත් කළේ ට්‍රාජන්ගේ නියමයෙනි.[7]   

සාන්ත ඉග්නාසියුස් තුමා
සාන්ත ඉග්නාසියුස් තුමාගේ දෙමව්පියන් මිඨ්‍යා දෘෂ්ඨිකයෝ වූහ. [සිංහයන්ගේ ගොදුරක් බවට පත් වූ ඇන්ටියෝකයේ සාන්ත ඉග්නාසියුස් තුමා වම් පස පින්තූරයේ දැක්වේ.] කිතු දහම පිළිබඳව නිසි අවබෝධය හා ඇදහිල්ල ලැබූ තරුණ ඉග්නාසියුස් සිත් හැරීමට පත්ව කිතු දහම වැළඳ ගත්තේ ය. එතුමා අපෝස්තුළුවර ජොහාන් වෙතින් බව්තීස්මය ලැබුවේ යැයි කිතුනු විශ්වාසය වේ. බව්තීස්මයෙන් පසුව එතුමා "දෙවියන් වහන්සේ දරණ" යන අර්ථය ඇති "තියෝ‍ෆෝරස්" [Theophorus] නම හිමිකර ගත්තේ ය. තම තරුණ දිවිය පූජකවරයෙකු ලෙස කැප කළ හෙතෙම නොබෝ කලකින් සිරියාවේ ඇන්ටියෝර්ක් හි තෙවැනි රදගුරුවරයා බවට පත් විය. ජේසුස් වහන්සේ මනුෂ්‍යයෙකු නොවන බවත්, අපගේ ගැළවුම්කරුවාණන් නොවන බවත් ප්‍රකාශ කළ "ඩොසීට්ස්" නමැති වේදභේදයට (දුර්ලබ්ධියට) එරෙහිව සත්‍ය පහදා දෙමින් ධර්මය දෙසූ ඉග්නේසියස්  තුමා ශුද්ධ වූ සභාවේ පරම සත්‍ය ධර්මවේදය ආරක්ෂා කර ගැනීමට බොහෝ වෙහෙසුණේ ය. ශුද්ධ වූ සභාවට "විශ්වීය" යන අර්ථය ඇති "කතෝලික" යන නාමය දුන්නේ ද ඉග්නේසියස් තුමා ය.ට්‍රාජන් රජුගේ නියමයෙන් අත් අඩංගුවට පත් ඉග්නාසියුස් තුමාව රෝමයට රැගෙන එන විට මුහුදු චාරිකාව අතරතුර කිතුනු ආගමික හසුන්පත් හතක් [6] රචනා කොට තමන් සේවය කළ කිතුනු සභාවන්ට රහසිගතව මිතුරෙකු මාර්ගයන් යැවීය. එතුමන්ව රෝමයට ගෙනෙන අතර, දැඩි රැකවල් ලා හිංසනයට පත් කර ඇත. ඒ බව එතුමන්ගේ ලිපියක මෙසේ සඳහන් වේ. 
"මම ව්‍යාඝ්‍රයන් දස දෙනෙකුට මැදි කොට ගැට ගසනු ලැබ සිටිමි; ඔවුහු මා මුර කරති. මා කරුණාව පාන කල ඔවුහු තව තවත් කෲර වෙති. ඇත්තෙන් ම රෝමයට පැමිණි විට මා භක්ෂණයට (මරා කෑමට) සූදානමින් සිටින මෘගයන්ට මම ඉත සිතින් බාර වෙමි; උන් මා දුටු ගමන් ම, මා පිට පැන සුණු විසුණු කර කා දමතියි මගේ අපේක්ෂාව ය. සමහර ධර්මිෂ්ඨයන්ට සිදු වූ පරිදි ම උන් මගෙන් ද ඉවත් නොවෙතියි සිතමි."[7]
 රෝම කිතුනුවන් වෙත යැවූ "එපිස්ටුලා අද් රෝමානෝස්" [Epistula ad Romanos] නම් හසුනෙහි ඉග්නාසියුස් තුමා මෙසේ ද සඳහන් කර ඇත.
"මා උදෙසා සූදානම් කර තිබෙන වන මෘගයන් එනතුරු මම බලාපොරොත්තු වෙමි. උන් මට පහර දෙන ලෙසට යාච්ඤා කරමි. උන් මා විනාශ කරලන්නට නාවොත්, මම උන්ව උසි ගන්වමි. දෙවියන් වහන්සේ උදෙසා මගේම නිදහස් කැමැත්තෙන් මැරෙන බව පවසන්නට ප්‍රීති වෙමි. දෙවියන් වහන්සේට ළඟාවීමට සඳහා මම වන මෘගයන්ට ගොදුරු වෙමි. මම දෙවියන් වහන්සේගේ ධාන්‍ය වෙමි. වන මෘගයන්ගේ මුඛයේ හොඳින් ඇඹරී, ක්‍රිස්තුස් වහන්සේගේ පිරිසිඳු පූපයක් වන්නට මම ආශා වෙමි. වන මෘගයෝ මගේ සොහොන් ගෙය වෙත්වා! ගින්න, කුරුසිය, වන මෘගයන් හා පොර බැදීම, ඇටකටු ඇඹරීම, අවයව සුණු විසුණු කිරීම, සර්වාංගය කැබළි කැබළි ලෙස ඉරා දැමීම යන මේ සියල්ල මා පතන්නේ ජේසුස් වහන්සේ වෙත සම්ප්‍රාප්ත වීමේ මාර්ග ලෙස ය." [8]
මෙයින් පෙනී යන්නේ රෝමානු කිතුනුවන්ගේ ඇදහිල්ල වඩාත් ශක්තිමත් කිරීමට හා ඔවුන් දිරි ගැන්වීමට අපේක්ෂා කළ ඉග්නාසියුස් තුමා ප්‍රාණ පරිත්‍යාගීබව උතුම් කොට සැලකූ ආකාරය හා ඒ සඳහා එතුමන් තුළ වූ දැඩි ආශාව ය. එතුමන්ගේ පැතුම එලෙසින් ම ඉටු විය.

මාර්කස් අවුරේලියස් අගරජු සමයේ ප්‍රාණ පරිත්‍යගී කිතුනුවෝ
මාර්කස් අවුරේලියස් [CAESAR MARCVS AVRELIVS ANTONINVS AVGVSTVS] ක්‍රිස්තු වර්ෂ 161 - 180 අතර කාලයේ රෝමයේ අධිරාජ්‍යයා ලෙස පාලන කටයුතු කළේය. දර්ශනවාදියෙකු ලෙසින් තමන්ව හඳුන්වා දෙන්නට සතුටු වූ ඔහු ද රෝම මිඨ්‍යා දෙවි දේවතාවුන් කෙරෙහි විශ්වාසය තැබීය. එම දෙවිදේවතාවුන්ට වැඳුම් පිදුම් කිරීමට රෝම වැසියන්ට තදින් අණ කළේ, රෝම අධිරාජ්‍යයේ බලය හා තේජශ්‍රීය එම දෙවිවරුන් නිසා පවතින බව පිළිගත් නිසාය. රෝම දෙවි දේවතාවුන්ට වැඳුම් පිදුම් නොකිරීම හේතුවෙන් ස්වල්ප කාලයකට යටපත් වී තිබූ කිතුනු පීඩනය අවුරේලියස් නැවත ඇරඹීය. මෙකල මරණයට පත් ප්‍රාණ පරිත්‍යාගී ශුද්ධවන්තයන් අතර ස්මරණාවේ පොලිකාප් තුමා [Polycarp of Smyrna], එපීසියේ ජස්ටින් තුමා හා ප්‍රංශයේ බ්ලන්ඩිනා තුමිය යනාදීන් කැපී පෙ‍නෙති. 

සාන්ත පොලිකාර්ප් තුමා
ස්මරණාවේ රදගුරු වූ පොලිකාර්ප් තුමා අපෝස්තුළුවර ජොහාන් තුමා අතින් බව්තීස්මය ලබා කිතුනුවෙකු වූවෙකි. [දකුණු පස රූපය] සාන්ත ඉග්නාසියුස් තුමාගේ සමකාලීන මිතුරෙකි. ස්මරණාවේ ධර්ම දේශනයෙහි යෙදී සිටිය දී අත් අඩංගුවට පත් එතුමාගේ විශ්වාසය බිඳ දමා මිථ්‍යා දේව ඇදහිළි වෙත ඇද ගැනීමට රෝමානු පාලකයන් නොයෙක් ක්‍රම යෙදූහ. එහෙත් තම කිතුනු ඇදහිල්ල හා සභාව පාවා නුදුන් එතුමාව පණ පිටින් පුළුස්සා මරා දැමීමට නියම විය. ගිනි දැල් එතුමා වටා බුර බුරා නැගී සිටි නමුත් ප්‍රාතිහාර්යකින් එතුමාගේ සිරුර නොදැවිණි. මෙයින් ලැජ්ජාවට පත් රජ තෙමේ කඩුවෙන් පහර දීමට නියම කළේ ය. රෝමානු සෙබළුන් කඩුවකින් එතුමාගේ හෘදය සිදුරු කර මරා සිරුර කිතුනුවන් අතට පත් වීම වළක්වනු පිණිස පිළිස්සූහ. එහෙත් නොදැවී තිබූ ඇටකටු හා සිරුරේ අළු එකතු කර ගත් එවකට කිතුනුවන් ඒවා සුරක්ෂිතව තබා ගරු බුහුමන් දැක්වූහ.

සාන්ත ජස්ටින් තුමා
ක්‍රිස්තු වර්ෂ 105 දී පමණ මිසදුටු (මිථ්‍යා දෘෂ්ඨික) දෙමව්පියන්ට දාව සිරියාවේ උපන් ජස්ටින් තුමා, එවකට එම ප්‍රදේශ වල පැතිර තිබූ ස්ටොයික් [Stoic] දර්ශනයත්, පෙරිපටෙටික් [Peripatetic] හා පයිතගෝරියන් [Pythogorean] දර්ශනයත් අනුව ක්‍රියා කළ අයෙකු වුවත්, එකී දර්ශනයන් හි වූ නිස්සාර බව දැක එම ආකල්ප වලින් බැහැරව සිටිය දී එපීසියේ පැතිර තිබූ ක්‍රිස්තියානි ධර්මය ගැන කරුණු සෙවීමෙහි නිරත විය. අහඹු ලෙස හමුවූ බුද්ධිමත් මහළු කිතුනුවෙකු හා සමග කළ දීර්ඝ සංවාදයක ප්‍රතිඵලයක් වශයෙන් ක්‍රිස්තු වර්ෂ 130 දී කිතුනුවෙකු බවට පත් විය. ක්‍රිස්තියානි ධර්මයේ ගැඹුර හා එහි රසය වටහා ගත් ජස්ටින් තුමා රෝමයට ගොස් වේද පඬිවරුන් හමු වී කිතු දහම හා ශුද්ධ බයිබලය ගැඹුරින් හැදෑරීය. අන්තෝනියස් පියුස් නම් රෝම අධිරාජ්‍යයාගේ කාලයේ දී කිතුනු පීඩන නවතාලීමේ නියෝගයක් සම්මත කරවා ගැනීමට ද ජස්ටින් තුමා සමත් විය. එහෙත් අවාසනාවකට මෙන් මාර්කස් අවුරේලියස් රජ පැමිණි කල, එම නියෝගය අවලංගු කර, ''යම් කෙනෙකු අසත්‍යවූත්, නවකවූත් ආගමක් දේශනා කර නව කණ්ඩායමක් බිහි කරත් ද, ඔහු රදළයෙකු වේ නම් රටින් පිටුවහල් කරනු ලැබේ. සාමාන්‍ය පුරවැසියෙකු නම් මරණු ලැබේ" යැයි ප්‍රකාශ කළේ ය. මේ අනුව, මාර්කස් අවුරේලියස්ගේ නියෝගයට අවනත නොවූ හා මිථ්‍යා දේව ඇදහිළි වලට විරැද්ධ වූ ජස්ටින් තුමා ඇතුළු තවත් කිතුනුවන් හය දෙනෙකු ක්‍රිස්තු වර්ෂ 167 ජුනි 12 දින කසයෙන් තළා, ගෙළ සිඳ මරණයට පත් කෙරුණි. [ඉහත වම් පස රූපයේ සාන්ත ජස්ටින් තුමාගේ ප්‍රාණ පරිත්‍යාගය දැක්වේ.] [9] 

ගර්ජනයේ හමුදාව 

මාර්කස් අවුරේලියස් ජර්මානිකස්වරු (ජර්මානුවන්) සමග යුද්ධයකට පෙළඹුණි. අවුරේලියස්ගේ රෝමානු හමුදාවේ සිටි සෙබළුන් අතර රහසිගත කිතුනුවෝ ද වූහ. ඔවුන්ව හැඳින්වූයේ "ගර්ජනයේ හමුදාව" යන නමිනි. එම සටනේ දී දැඩි පිපාසයෙන් පෙළෙමින් අඩපණව සිටි රෝමානුවන් පරාජය පෙනි පෙනී පසුබසිත්දී මිථ්‍යා දෘෂ්ඨික රෝම සෙබළුන්ගේ උසුළු විසුළු මැද කිතුනු සෙබළුන් දැඩි විශ්වාසය හා දේව භක්තිය පෙන්වමින් සහනය හා පිහිට පතා දෙවිඳුන් යැදූහ. ක්ෂණයකින් ඇදහැළුණු මහා ධාරාණිපාත වර්ෂාවේ දී තම හිස්වැසුම් ජලයෙන් පුරවා ගෙන පිපාසය සංසිඳුවා ගෙන නව පණක් හා විවේකී සුවයක් ලැබූහ. රෝමානුවන්ට සවියක් හා සහනයක් ගෙන දුන් එම වර්ෂාව ජර්මානුවන්ට ඔරොත්තු නොදෙන මළපතක් බවට පත් විය. එයින් පීඩාවට පත් ජර්මානුවන් පරාජයට පත්ව පළ ගියෝය. මෙම ප්‍රාතිහාර්ය පිටුපස කිතුනුවන් සිටි බව දත් අවුරේලියස් රජ යුධ ජයග්‍රහණයෙන් උද්දාමයට පත්ව කිතුනු පීඩනය මද කලකට නතර කළේය. 

සාන්ත බ්ලන්ඩිනා තුමිය
කිතුනුවන් මාර්කස් අවුරේලියස් අධිරාජ්‍යයාගේ මිථ්‍යා දෘෂ්ඨික නියෝග වලට කිසි දිනෙක එකඟ වූයේ නැත. මේ සම්බන්ධයෙන් කෝපයට පත් හෙතෙම ක්‍රිස්තු වර්ෂ 177 දී පැරණි කිතුනු පීඩනය නැවත පණ ගැන්වීය. මේ වතාවේ එය කොපමණ දරුණු අතට හැරුණේ ද යත් එය ප්‍රංශය දක්වා පැතිර ගියේ ය. මරණයට පත් වූවන් අතර ''බ්ලන්ඩිනා" නම් වූ කුඩා දැරියක් ද විය. අත් අඩංගුවට පත් ඇයට නොයෙක් වධ හිංසා කළ ද ඒ හැම විටකම "මම ක්‍රිස්තියානිකාරියක්මි. මගේ ඇදහිල්ල අත් නොහරින්නෙමි"යි නැවත නැවත කීම නිසා, ගොදුරක් වන ලෙස සිංහයන් අතරට විසි කෙරුණි. එහෙත් ඇයට කිසිඳු හානියක් නොවීය. පසුව එවූ කුළු හරකෙකු පමණක් ඇයට පහර දී බිම හෙළීය. වධක සෙබළුන් ඇගේ ගෙළ සිඳ මරණයට පත් ‍කළහ. නූතන කතෝලික සභාව ඇයට සාන්තුවරියක ලෙස ගෞරව කරයි. 

සෙප්ටිමස් සෙවරස් අග රජු සමයේ ප්‍රාණ පරිත්‍යාගී වූ කිතුනුවෝ
මාර්කස් අවුරේලියස්ගේ මරණින් පසුව කතෝලිකයන්ට කෙටි සාමයේ කාලපරිච්ඡේදයක් ඇති විය.  පසුව බලයට පත් කොමඩොස් කිතුනුවන්ට හිංසා පීඩා කිරීම නොකළ නමුත් කිතුනු ආගමික නිදහස දුන්නේ නැත. කොමඩොස්ගේ මරණයෙන් පසුව ක්‍රිස්තු වර්ෂ 193 දී බලයට පත් සෙප්ටිමස් සෙවරස් [CAESAR LVCIVS SEPTIMIVS SEVERVS PERTINAX AVGVSTVS] ඉන් වසර 9 කට පසුව එනම්, ක්‍රිස්තු වර්ෂ 202 දී භයානක කිතුනු පීඩන ව්‍යාපාරයක් දියත් කළේය. ඊජිප්තු ප්‍රදේශයෙන් ඇරඹුණු එය නැවත ප්‍රංශය දක්වා පැතිර ගියේ ය. මෙම කාලවකවානුව තුළ දී දිවි පිදූවන් අතර, ලයන්ස් නුවර රදගුරු වූ සාන්ත බ්‍රරේනියස්, කාර්තේජයේ සාන්ත පර්පේතුවා හා සාන්ත පෙලිස්ටාස් යන ශුද්ධවරියන් දෙපළ, සාන්ත සිසිලියා තුමිය ද විශේෂ වෙති. 

සාන්ත පර්පේතුවා තුමිය හා සාන්ත පෙලිස්ටාස් තුමිය
කාර්තේජයේ පර්පේතුවා හා පෙලිස්ටාස් යන ශුද්ධවන්තියන් දෙදෙනා සමකාලීන මිතුරියන් වූහ. ක්‍රිස්තියානි ධර්මය ඇදහීමේ වරද මත මේ දෙදෙනාම අත් අඩංගුවට පත් විය. සාන්ත පෙර්පේතුවාගේ පියා දැඩි මිථ්‍යා දෘෂ්ඨිකයෙකු විය. පර්පේතුවාගේ ළපටි පුතුව සිංහයන්ට ගොදුරු කිරීමෙන් බේරා ගැනීමට අවශ්‍ය නම්, ක්‍රිස්තියානි ධර්මය අත්හරින ලෙසට ඇගේ පියා කළ තර්ජනය කළේය. ඊට අවනත නොවූයෙන් පර්පේතුවා හා පෙලිස්ටාස් යන මිතුරියන් දෙදෙනාව හාමත් සිංහයන්ගේ ගොදුරු පිණිස දැමීය. එහෙත් එම වන මෘගයන්ගෙන් ඔවුන්ට කිසිඳු හානියක් නොවීය. එවිට සේබළුන් යකඩ දැළක ඔවුන්ව එල්ලා කුලප්පු කළ කුළු හරකුන් ලවා පහර දී පිහි වලින් ඇන මරණයට පත් කර ඇත. 

සාන්ත සිසිලියා තුමිය
රෝමයේ ඉතා ධනවත් රදළ පවුලකට අයත් මිථ්‍යා දෘෂ්ඨික පියෙකුට දාව කතෝලික මවකට උපන් සිසිලියා දුටුවන් වශී කරවන රුවැත්තියක් වූවා ය. [දකුණු පස රූපය] තම මවගේ කිතුනු ඉගැන්වීම් වලින් පෝෂණය වූ සිසිලියා උර්බන් පාප්තුමා වෙතින් බව්තීස්මය ලැබූ අතර, සදා කන්‍යාවක ලෙසින් ජීවත් වීමට දෙවියන් වහන්සේට පොරොන්දුවක් ද දුන්නාය. තුරුණු වියට පත් සංගීතයට විශේෂ දස්කමක් දැක්වූ සිසිලියාව වංශවත් සිටුවරයෙකුගේ පුත්‍ර වැලේරියන් නම් තරුණයෙකුට විවාහ කර දීමට ඇගේ පියා කටයුතු කළේය. සදා කන්‍යාවක ලෙසින් ජීවත් වීමට වූ දේව පොරොන්දුව ගැන තම සැමියාට ප්‍රකාශ කළ ඇය තම ශරීරය ආරක්ෂා කරන දේව දූතයෙකු සිටින බවත්, තමන්ට ප්‍රේම කරන්නේ නම් එම දේව පොරොන්දුව සුරකිමින් ජීවත් වීමට අවසර දෙන ලෙසත්, තමන්ට සහෝදරියකට මෙන් සලකන ලෙසත් ප්‍රකාශ කළා ය. සිසිලියාව සුරකින දේව දූතයාව දැකීමේ ආශාවක් ඇති වූ වැලේරියන් සිසිලියාගේ උපදෙස් හා මග පෙන්වීම් මත ක්‍රිස්තියානි ධර්මය ඉගෙන සිය සොහොයුරු ටයිබර්ටියුස් සමග උර්බන් පාප්තුමා වෙතින් බව්තීස්මය ද ලැබීය. ක්‍රමයෙන් ක්‍රිස්තියානි ධර්මප්‍රචාරයට යොමු වූ මෙම දෙසොහොයුරන් ව සෙප්ටිමස් සෙවරස් රජු අත් අඩංගුවට ගෙන සිරගත කළහ. ඔවුන්ගේ දුක සැප බැලීමට පැමිණෙන සිසිලියා ඔවුන් රැකවල් කළ මැක්සිමස් නම් වූ ආරක්ෂක නිළධාරියාව ද කිතු දහමට හරවා ගැනීමට සමත් වූවා ය. පසුව මෙම තිදෙනාව හිස ගසා මරණයට පත් කෙරුණි. ඔවුන්ව කිතු දහමට හැරවීමේ ක්‍රියාවට වරදකාරිය වූ සිසිලියාව ද සිරගත කොට ඇගේ විශ්වාසය බිඳ දැමීමට නොයෙක් උපක්‍රම යෙදූ නමුත් ඉන් කිසිඳු ප්‍රතිඵලයක් නොවීය. පසුව ඇයව පණ පිටින් පුළුස්සා මැරීමට නියම වුවත්, ගිනි මැද නොදැවී දෙවියන් වහන්සේට තුති ප්‍රශංසා ගීත ගයමින් සිටියා ය. ගිනි උඳුනෙන් පිටතට ගත් ඇයව අඩක් ගෙළ කපා බොහෝ වධ විඳ මරණයට පත් වීමට සැලැස්වීය. මහත් වේදනාවට පත් ඇය තෙදිනකට පසුව ස්වර්ගස්ත වූවා ය. සිසිලියාගේ සිරුර කැලිස්ටස් උමං සොහොනේ තැන්පත් කෙරුණු අතර, ක්‍රිස්තු වර්ෂ 9 වන සියවසේ දී ඇගේ සිරුර උමං සොහොනෙන් නැවත ‍පිටතට ගන්නා විට නොදිරා පැවතී ඇත. [පහත දකුණු පස රූපයේ සාන්ත සිසිලියාගේ උමං සොහොන තුළ එතුමිය වැතිරීසිටි ආකාරය නිරූපණය කරන අයුරු දැක්වේ.]
එම සිරුර ක්‍රිස්තු වර්ෂ 1599 දී සාන්ත සිසිලියා නමින් ඉදි කළ බැසිළිකාවේ තැන්පත් කර ඇත. ඇයගේ එම සිරුරේ හිස පහතට නැමී දිගු නින්දක පසුවන ආකාරයක් පෙන්වන අතර, ශුද්ධ වූ ත්‍රිත්වය සංඛේතවත් කරමින් දකුණතේ ඇඟිළි තුනක් දිග හැරී අනෙක් ඇඟිළි දෙක අල්ල තුළට නැවී ඇත.

මැක්සිමියන් අග රජ සමයේ ප්‍රාණ පරිත්‍යාගී වූ කිතුනුවෝ
මැක්සිමියන් [CAESAR GAIVS JVLIVS VERVS MAXIMINVS AVGVSTVS] නම් රෝමානු අධිරාජ්‍යයාගේ ක්‍රිස්තු වර්ෂ 235-238 පාලන කාලයේ දී මිථ්‍යා දේව ඇදහිළි වලට කිතුනුවන්ව බලාත්කාරයෙන් යොමු කරවීමේ ක්‍රියාවලියක් සිදු විය. එහෙත් පෙර කිතුනුවන් මෙන් ම එකල සිටි කිතුනුවන් ද ඊට අවනත නොවූ හෙයින් ඔවුන්ට එරෙහිව මැක්සිමියන් දරුණු හිංසන ව්‍යාපාර‍යක් රෝම පුරවරය තුළ දියත් කළේය. එම හංසනයට ගොදුරු වූවන් වැඩි දෙනා කතෝලික සභාවේ ශ්‍රේෂ්ට නායකයෝ වූහ. මොවුන් අතර රෝමයේ සාන්ත පොන්සියානෙස් (ක්‍රිස්තු වර්ෂ 230-235), ග්‍රීසියේ සාන්ත ඇන්ටරස් (ක්‍රිස්තු වර්ෂ 235-236) යන පාප්වරුන් දෙදෙනා කැපී පෙනෙති. 

ඩේසියස් අග රජ සමයේ ප්‍රාණ පරිත්‍යාගී වූ කිතුනුවෝ

ක්‍රිස්තු වර්ෂ 249-256 අතර ඩේරියස් [CAESAR GAIVS MESSIVS QVINTVS TRAIANVS DECIVS AVGVSTVS අග රජ පාලන කාලයේ දී කිතුනු පීඩනය ඇතිවීමට බලපෑ හේතු සාධක දෙකක් තිබුණි. එනම්,
  1. රෝම අධිරාජ්‍යය තුළ ක්‍රිස්තියානි ධර්මය ඇදහීමට ඉඩ හැරීමෙන් කෝපයට පත් වන  රෝමයට අරක්ගත් මිථ්‍යා දෙවි දේවතාවුන් රෝම අධිරාජ්‍යය පිරිහීමට පත් කරනු ඇතැයි යන බිය,
  2. එනිසා රෝම දෙවි දේවතාවුන් නැමදීමට කිතුනුවන්ව පෙළඹවිය යුතුය යන අදහස ඇතිවීම. 
 කිතු දහම අත්හැරීමට අකමැති වන හා රෝම දෙවි දේවතාවුන් නැමදීම ප්‍රතික්ෂේප කරන අයට දැඩි වධ බන්ධන පමුණුවා මරණයට පත් කරන ලෙසට රෝම ආණ්ඩුකාරවරුන්ට නියම කෙරුණි. මෙකල බොහෝ රදගුරුවරුන් ද පාප්වරුන් ද දිවි පිදූහ. ඇතැම් කිතුනුවන් රෝම පුරවරය අත්හැර වනගත වූහ. සාන්ත පේබියන් (ක්‍රිස්තු වර්ෂ 236-250), සාන්ත කොරනේලියස් (ක්‍රිස්තු වර්ෂ 251-253), පළමුවන සාන්ත ලුෂියස් (ක්‍රිස්තු වර්ෂ 253-254) යන පාප්වරුන් ද, සාන්ත අගතා තුමිය ද ප්‍රාණ පරිත්‍යාගීවූවන් අතර වෙති. 
[සාන්ත පේබියන් පාප්තුමා ඉහළ දකුණු පස රූපය]
[සාන්ත කොරනේලියස් පාප්තුමා දකුණු පස ඉහළ රූපය][සාන්ත ලුෂියස් පාප්තුමා පහත දකුණු පස රූපය]

වැලේරියන් අග රජ සමයේ ප්‍රාණ පරිත්‍යාගී වූ කිතුනුවෝ 
ක්‍රිස්තු වර්ෂ 253 දී රජ පැමිණි වැලේරියන් නොරිකුම් හා රේසියාවේ ආණ්ඩුකාරවරයාව සිටි  [Governor of Noricum and Raetia,] වැලේරියන් [CAESAR PVBLIVS LICINIVS VALERIANVSAVGVSTVS] (වම් පස කාසියේ රූපය වැලේරියන් රෝම අධිරාජ්‍යයාගේ ය.) අග රජුගේ පාලන කාලය ක්‍රිස්තු වර්ෂ 257-260 අතර යැයි සැලකේ. ක්‍රිස්තු වර්ෂ 258 දී වැලේරියන් අධිරාජ්‍යයා නිකුත් කළ ආඥාවකින් මිථ්‍යා දෘෂ්ඨික දෙව දේවතාවුන්ට පුද පූජා නොපවත්වන අවම වශයෙන් දුම් පූජාවන්වත් නොකරන ක්‍රිස්තියානීන්ට දරුණු වධ හිංසා හා මරණ දඬුවම් නියම කළේය. රෝමානු පුරවරයේ සෑම ස්ථානයක්ම පරීක්ෂාවට ලක් කර කිතුනු රැස්වීම් පැවැත්වූ ස්ථාන කඩා බිඳ දමා විනාශ කොට, සඟවා තිබූ ශුද්ධ හසුන් පත් හා වස්තූන් ගිනිබත් කොට විනාශ කළේය. පූජකවරුන් ද රදගුරුවරුන් ද සිරගත කොට දැඩි හිංසනයට භාජනය කළේය. 
මෙම පීඩනයේ දී සාන්ත ලෝරන්ස් තුමා, රෝමයේ පළමුවන ස්තෙපානුස් (ක්‍රිස්තු වර්ෂ 254-257) හා ග්‍රීසියේ දෙවන සික්ස්ටස් (ක්‍රිස්තු වර්ෂ 257-258) යන පාප්වරුද දිවි පිදූහ. (වම් පස රූපයෙ දැක්වෙන්නේ රෝමයේ පළමුවන ස්තෙපානුස් පාප්තුමා ය.) එම ක්‍රිස්තියානි පීඩනය බොහෝ දුරට බලපෑම් කළේ කතෝලික සභා නායකයන් වෙතය.  කිතු දහම ප්‍රචාරය කිරීමටත්, කිතුනු පීඩන හමුවේ නොසැලී ධෛර්යමත්ව ඇදහිල්ලෙන් සිටීමටත් අවශ්‍ය උපදෙස් හා මග පෙන්වීම් කළෙ කතෝලික සභා නායකයෝ ය. එය වැලැක්වීම වැලේරියන්ගේ අදහස වූවා විය හැකිය. කෙසේ වුවද කතෝලික සභා නායකයෝ ද තම ජීවිත පූජා කිරීමට ඉදිරිපත් වීම අනෙකුත් කිතුනුවන්ට ද මහඟු ආදර්ශයක් වූවාට සැක නැත.
සාන්ත ලෝරන්ස් තුමා
තුරුණු වියේ පසුවූ ලෝරන්ස් කිතු දහම ගැන පැහැදී පූජකවරය සොයා ගිය අතර, දෙවැනි සික්ස්ටස් පාප්තුමා විසින් තේවාචාර්ය [Deacon] [10]පදවිය ප්‍රදානය කරන ලදි. රෝමයේ සිටි දුගී කිතුන්වන්ට ආධාර උපකාර හා උපස්ථාන කිරීමේ යෙදී සිටි දෙවන සික්ස්ටස් පාප්තුමාට සහය වූ තේවාචාර්යවරුන් පස් දෙනාගෙන් එක් අයෙකු වූයේ ලෝරන්ස් තුමා ය. එවකට රෝමානු කතෝලික සභාවේ භාණඩාගාරික ධූරය දැරුවේ ද එතුමා ය. ඉහත කී වැලේරියානු ආඥාවට අනුව, ක්‍රිස්තියානි ධර්මය රෝම පුරවරය පුරා දේශනා කිරීමේ වරදට දෙවන සික්ස්ටස් පාප්තුමා ඇතුළු තේවාචාර්යවරුන් සිව්දෙනෙක් අත් අඩංගුවට පත් විය. පාප්තුමාව දරුණු වධ හිංසා පමුණුවා මරණයට පත් කිරීමට තීන්දු කෙරුණි. එම ඉරණම තමන්ට අත් නොවීම ගැනත් පාප්තුමාව මරණයට පත් කිරීමට නියම කිරීම ගැනත් ලෝරන්ස් තුළ බොහෝ දුකක් ඇති විය. ඔහුව සනසමින් දෙවන සික්ස්ටස් පාප්තුමා මෙසේ කීවේ ය.
"මාගේ පුත්‍රය, මා ඔබව අත් හරින්නේ නැත. ක්‍රිස්තු භක්තිකයන් උදෙසා මීට වඩා වධ වේදනා විඳීමට ඔබට සිදුවනු ඇත. තව දින කිහිපයකින් ඔබ මා යන අඩිපාරේ එනු ඇත. එහෙයින් ඔබ භාරයේ කිසියම් ධනයක් වෙතොත් එය දිළිඳුන්ට බෙදා දෙන්න"
 මෙයින් සතුටට පත් ලෝරන්ස් තුමා වඩාත් ධෛර්යවත්ව ධර්මප්‍රචරය කරමින් ඉතිරි වී තිබූ ධනය ද දිළිඳුන්ට බෙදා දී මරණයට සූදානම් විය. මේ හේතුවෙන් අත් අඩංගුවට පත් ලෝරන්ස් තුමාට කිතුනු සභාවේ ධනය අධිරාජ්‍යයාට පවරා දෙන ලෙස නියෝග කෙරුණි. කතෝලික සභාවේ සාමාජිකයන් හා මෙතෙක් දිවි පිදූ කිතුනු ප්‍රාණ පරිත්‍යාගීවරුන් එම ධනය බව ලෝරන්ස් තුමා ප්‍රකාශ කළේය. මෙයින් කෝපයට පත් රජ තෙමේ ලෝරන්ස් තුමාට කස වලින් තළා, ගිනි අඟුරු වලින් පුළුස්සන ලෙසට නියම කළේය. මෙම දරුණු වධය බලා සිටින අයට දේව විශ්වාසය ලැබෙන ලෙස ඉල්ලා එතුමා යාච්ඤා කළේය. ‍එහි ප්‍රතිඵලයක් වශයෙන් එක් රෝමානු සෙබළෙක් සිත් හැරීමට පත්ව කිතු දහම වැළඳ ගත්තේ ය. මෙයින් තවත් කෝපයට පත් වැලේරියන් රජ යකඩ ග්‍රිල් උඳුනක් මත ලෝරන්ස් තුමාව තබා මද ගින්නේ පුළුස්සන්නට නියම කළේය. ජේසුස් වහන්සේගේ දේව අනුග්‍රහය ලැබී එම දරුණු වධය ඉවසා දරා ගැනීමට එතුමාට ශක්තිය ලැබුණි. එම අවස්ථාවේ දී වධක සෙබළාට කතා කළ ලෝරන්ස් තුමා, "මා පුත, ඔබට ශාන්තිය වේවා! මාගේ සිරුරේ පිටුපස කොටස හොඳින් පිළිස්සී හමාරය. දැන් ඉදිරිපස කොටස පිළිස්සෙනු සඳහා මා අනෙක් අතට හරවන්නැ" යි කීවේ ය. මෙසේ දරුණු පීඩාවකට පත් ලෝරන්ස් තම ආත්මය දෙවිඳුන්ට පූජා කරමින් ස්වර්ගස්ත විය. මාංශික හා කාම තෘෂ්ණා පාප පරීක්ෂා වල දී අප සාන්ත ලෝරන්ස් තුමාට මෙසේ යාච්ඤා කරමු.
"සර්ව බලධාරී දෙවියන් වහන්ස, ශුද්ධ වූ ලෝරන්ස් තුමන් හට අග්නි ජාලාවෙන් ගැළවීමට වරම් දුන්නා සේ අපට ද අපේ තෘෂ්ණාධික දුර්ගුණ ගිනි ජ්වාලයන්ගෙන් නිදහස් වීමට වරම් දුන මැනව. සාන්ත ලෝරන්ස් තුමනි, සියළු මාංශික හා කාම තෘෂ්ණා වලින් ගැළවීමට අප ‍උදෙසා දෙවිඳුන් ඉදිරියෙහි මැදහත් ව යාච්ඤා කළ මැනව."
රෝමයේ සාන්ත ලෝරන්ස් බැසිළිකාවේ එතුමන්ගේ සිරුර සුරක්ෂිතව තැන්පත් කර ඇත. ඒ මත ඉදි කර ඇති පූජාසනය මත දිව්‍ය පූජාව පැවැත්වීමට අවසර ඇත්තේ පාප්තුමාට පමණය.

අවුරේලියන් අග රජු සමයේ ප්‍රාණ පරිත්‍යාගී වූ කිතුනුවෝ
අවුරේලියන්ගේ [CAESAR LVCIVS DOMITIVS AVRELIANVS AVGVSTVS] රාජ්‍ය පාලන කාලය ක්‍රිස්තු වර්ෂ 274-275 වේ. ඔහු රාජ පදවියට පත් වූ විගසම කිතුනුවන්ට හිංසා පීඩා කිරීමට උත්සහ කළේ නැත. මන්ද ඔහුට කිතුනුවන්ගෙන් බාධාවක් නොවීමය. නමුදු ඔහුට රෝම සෙනෙට් සභිකයන්ව දිනා ගැනීමට නොහැකි වූයේ ඔහු තුළ වූ රාජ්‍ය ප්‍රතිපත්ති වල තිබූ අඩුලුහුඩුතා නිසා ය. එහෙත් ස්වල්ප කාලයකට පසුව රෝමානු සෙනෙට් සභාවෙන් ඔහුට එරෙහිව ආ කුමන්ත්‍රණ හා විරෝධයන් වළකාලීමේ අරමුණෙන් ඔහු ඔවුන්ව සතුටු කිරීම සඳහා කිතුනුවන්ට පීඩා කිරීමට පටන් ගත්තේ ය. මෙකල ප්‍රාණ පරිත්‍යාගී වූවන් අතර, රෝමයේ රදගුරු වූ සාන්ත පීලික්ස් තුමා, පැරිසියේ ප්‍රථම රදගුරු වූ සාන්ත ඩෙනිස් තුමා ද කැපී පෙනෙති.



දියොක්ලේෂියන් අග රජ සමයේ ප්‍රාණ පරිත්‍යාගී වූ කිතුනුවෝ
කතෝලික සභාවට එල්ල වූ අවසාන පීඩනය දියොක්ලේෂියන් [CAESAR GAIVS AVRELIVS VALERIVS DIOCLETIANVS AVGVSTVS Roman Emperor from November 20, 284 to May 1, 305.] අධිරාජ්‍ය සමයේ දී සිදු විය.එය ඉතාම බියකරු හා කෲරතර හිංසන ව්‍යාපාරයක් විය. පර්සියානු ආගමික ආභාෂය ලැබූ ඔහු අධිරාජ්‍ය වන්දනාව නැවත රෝමය තුළ ක්‍රියාත්මක කිරීමට උත්සහ දැරීය. එයට විරුද්ධ වූ සියලු අයව දැඩි ලෙස වධ හිංසා පමුණුවා මරණයට පත් කිරීමට නියම කළේය. කිතුනුවන්ගේ සම ගැළවීම, ලුණු විනාකිරි මිශ්‍රණයක් දෙනෙත් වලට වැගිරීම, දෙනෙත් පිළිස්සීම, කටු සැමිටි වලින් මරණයට පත් වනතුරු පහර දීම වැනි ක්‍රම මගින් වධ දීමට සැළැස්වීය. එවකට සිටි මෙම වධ බන්ධන සියැසින් දුටු එව්සේබියස් [Eusebius, 275-339] නම් කිතුනු ඉතිහාසඥයාගේ වාර්තාවන්ට අනුව, "වධකයන්ගේ අත් මිනී මැරීමෙන් ම විඩාවට පත් විය, ඔවුන්ගේ අවි ආයුධ බෙලි කැපීමෙන් ම මොට විය." මෙකල ප්‍රාණ පරිත්‍යාගී වූවන් අතර සාන්ත ඇග්නස් තුමිය, සාන්ත සෙබස්තියන් තුමා, සාන්ත ලුසියා කන්‍යාව හා සාන්ත කැතරින් තුමිය කැපී පෙනෙති. 

සාන්ත සෙබස්තියන් තුමා
මිලාන් හි නර්බෝනා නම් නුවර උපත ලැබූ වංශවත් ධනවත් සෙබස්තියන් දියොක්ලේෂියන් අධිරාජ්‍යයාගේ රෝමානු යුධ හමුදාවට බැඳී කීර්තිමත් සෙන්පතියෙකු බවට පත් විය. ආගම් විරෝධය හා දැඩි පීඩන හමුවේ කිතුනුවන් ධෛර්යමත්ව නිර්භීතව ප්‍රාණ පරිත්‍යාගී වන ආකාරය දුටු එතුමා එහි අභිරහස සොයා යන කල අහම්බෙන් මෙන් දැනගැනීමට ලැබුණු ක්‍රිස්තියානි ධර්මය ගැන පැහැදී රහසින් කිතුනුවෙකු විය. එසේම ධර්මප්‍රචාරයේ ද නිරත විය. මේ පිළිබඳව දැනගත් දියොක්ලේෂියන් අධිරාජ්‍යයා කිතු දහම අත්හැර අධිරාජ්‍ය වන්දනාවට නැඹුරු වීමට අණ කළ ද එතුමා එය තදින්ම ප්‍රතික්ෂේප කළ නිසා ඊතළ වලින් විද මරණයට පත් කිරීමට නියම විය. මෙම ඊතළ විදීමේ කාර්යය බාර වූයේ ද එතුමාගෙන් ධර්මය ඉගෙන කිතු දහම වැළඳ ගත් මොරිටානියස් නම් දුනුවායාට ය. ඔහු ද මාරාන්තික තුවාළ සිදු නොවන අයුරින් එම කාර්යය කර, සිහිසුන්ව සිටි සෙබස්තියන් තුමාව රහසින් රැගෙන ගොස් ප්‍රතිකාර කර සුව කළේය. සෙබස්තියන් තුමා ද සැඟවී නොසිට දියොක්ලේෂියන් අග රජු යන මග රැක සිට කිතුනුවන්ට කරන හිංසා පීඩා ගැන තදින් චෝදනා කර හෙළා දුටුවේය. සෙබස්තියන් තුමාව දැක විශ්මයට පත් වූ ‍රජු එතුමාගේ වදන් අසා කෝපයට පත්ව  පොලු වලින් පහර දී මරණයට පත් කිරීමට නියම කළේය. ඒ අනුව ක්‍රිස්තු වර්ෂ 288 ජනවාරි 20 දින එතුමාව මරණයට පත් කෙරුණි. එතුමන්ගේ සිරුර උමං සොහොනක තැන්පත් කෙරුණි.[11]     

සාන්ත ලුසියා තුමිය
සිසිලියේ සිරාකුස් නම් ප්‍රදේශයේ ධනවත් රදළ පවුලක කිතුනු දෙමව්පියන්ට දාව උපන් ලුසියා තුමිය ද කුඩා කල සිටම තම ජීවිතය ශුද්ධවන්තව අවිවාහකව ගත කිරීමට තීරණයක් ගෙන සිටියා ය. ඇගේ පියාගේ මරණින් පසුව මව ලුසියාගේ දැඩි අකමැත්ත පිට ඇයව මිථ්‍යා දෘෂ්ඨික තරුණයෙකුට විවාහ කර දීමට තීරණය කළාය. මේ කාලයේ දී ලුසියා තුමියගේ මව මහ ලේ නමැති කාන්තා රෝගයෙන් පීඩාවට පත්ව සිටියා ය.  ඉතා ප්‍රාතිහාර්ය ජනක ස්ථානයක් වශයෙන් සැලකූ සාන්ත ඇගතා තුමියගේ උමං සොහොන වෙත ගොස් යාච්ඤා කරත් දී ඇගේ මවගේ රෝගය සම්පූර්ණයෙන් සුව විය. මෙයට ස්තුති පිදීමක් වශයෙන් ඔවුන් සතු සියලු ධනය දිළිඳුන්ට බෙදා දීමට මෙම දෙපල කටයුතු කළෝය. ලුසියා තුමිය විවාහයට දැක්වූ අකමැත්ත, ක්‍රිස්තියානි ධර්මය ඇදහීමේ වරද හා ධනය වස්තුව දිළිඳන්ට බෙදා දීම යන කරුණු නිසාවෙන් ඇගේ විවාහපේක්ෂක ධනලෝභී තරුණයා ඒ බව සිසිලියේ රෝම ආණ්ඩුකාරවරයාට දැන්වූයෙන් ඇය අත් අඩංගුවට පත් විය. රෝම අධිරාජ්‍ය වන්දනාව හා මිථ්‍යා දේව ඇදහිළි ප්‍රතික්ෂේප කළ ලුසියා තුමිය නිතරම කියා සිටියේ, "මම දිවා රෑ දෙක්හි දෙවියන් වහන්සේගේ නීතිය මෙනෙහි කරමි. මා කීකරු වන්නේ දේව අණට පමණකි. ඔබ අධිරාජ්‍යයාගේ අණ පිළිපැදීමට උද්යෝගීමත් වන සේම, මමත් දේව කැමැත්ත ඉටු කිරීමට බැඳී සිටිමි," කියා ය. එනිසා ඇයට බොහෝ වධ හිංසා පමුණුවා, දෙනෙත් උගුලා, ගෙළ කඩුවකින් සිදුරු කර මරණයට පත් කළේය. එතුමියගේ මරණය ක්‍රිස්තු වර්ෂ 303 දෙසැම්බර් 13 දන සිදු විය.[12]

සාන්ත ඇග්නස් තුමිය
ඇග්නස් වනාහී රදළ කිතුනු දෙමව්පියන්ට දාව උපන් සුවිනීත නව යෞවනියකි. කුඩා කල පටන් කිතුනු ධර්මගුණ අනුව හැදුණු වැඩුණු ඇයගේ දොළොස්වන උපන් දින දී දිව්‍ය පූජාවට ගොස් දිව්‍ය සත්ප්‍රසාදය ලබා ගත්තාය. එවිට ඇයගේ සිත් අභ්‍යන්තරයේ ඇති වූ දැඩි ක්‍රිස්තු භක්ත්‍යාදරය හා විශ්වාසයේ හැඟීම නිසා සදාකාලික කන්‍යාවක් ලෙසින් සුපිරිසිඳු ජීවිතයක් ගත කිරීමට දෙවියන් වහන්සේට පොරොන්දුවක් දුන්නාය. පසුව රෝමානු අමාත්‍යවරයෙකු වූ සිම්ප්‍රෝනියස්ගේ රාජ්‍ය උත්සවයකට ඇය සිය දෙමව්පියන් සමග සහභාගි වූවා ය. එකල එම අමාත්‍යවරයාගේ පුත්‍ර ප්ලේවියන් නම් තරුණයා ඇග්නස් තුමියව දැක ඇගේ රූසිරියට වසඟ වී, ඇයව විවාහ කර ගැනීමේ අපේක්ෂාවෙන් ත්‍යාගයක් පිරිනැමීය. සදාකාලික කන්‍යාවක ලෙසින් ජීවත් වීමට පොරොන්දුවක් දී සිටි ඇය එම ත්‍යාගය එකහෙලාම ප්‍රතික්ෂේප කළාය. එයට හේතුව විමසූ කල ඇය කියා සිටියේ තමන් ස්වර්ගීය දේව දූතයන් පිරිවරා සිටින ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ හා සමග විවාහ වීමට පොරොන්දුවක් දී ඇති බව ය. මෙම පිළිතුරෙන් ඇය ක්‍රිස්තියානි තරුණියක් බව දැන ගත් ප්ලේවියන් ඇයට නොයෙක් බලපෑම් කිරීමටත්, නින්දා අපහාස කිරීමටත්, ඇගේ චරිතයට කැළැල් කිරීමටත් උත්සහ කළේය. ‍එකල ඇගේ රැකවල් දේවදූතයා ඇය වටා ගිනි වළල්ලක් ඇති කර ඇයව ආරක්ෂා කළේය. මෙය විජ්ජාවකැයි සිතූ සිම්ප්‍රෝනියස් ඇයව පුළුස්සා මරන්නට නියම කළ නමුත්, ඇයට ඉන් කිසිඳු පීඩාවක් නොවූ බැවින් ඇයව නිදහස් කොට ආපසු නිවසට යැවීය. ඉන් වසරකට පමණ පසුව දියොක්ලේෂියන් අධිරාජ්‍යයාගේ නියෝගය පරිදි රෝම මිථ්‍යා දෙවි දේවතාවුන්ට හා අධිරාජ්‍යයාට වන්දනා කිරීමට අකමැති වන හා ක්‍රිස්තියානි ධර්මය අදහන අයට විරුද්ධව ගෙන ගිය පීඩනයට ඇග්නස් තුමියව ද හසු විය. අත් අඩංගුවට පත් ඇයට මිථ්‍යා දෙවිවරුන්ට හා අධිරාජ්‍යයාගේ පිළිරුවට වැඳුම් පිදුම් කිරීමට බල කර සිටියත් ඇය එය එකහෙළාම ප්‍රතික්ෂේප කළ බැවින් ඇයට බලාත්කාරකම් කිරීමට කාමුක වධකයන්ට නියම කෙරුණි. මෙම අධම ක්‍රියාවට පළමුවෙන් උත්සහ කළ මිනිසාට පහර දුන් දේවදූතයෙකු නිසා ඔහු අන්ධ වී අප්‍රාණිකව බිම ඇද වැටුනේය. ඔහු මරණයට පත් වනු ඇතැයි බොහෝ දෙන සිතූහ. එහෙත් ඔහුට අනුකම්පා කළ ඇග්නස් තුමිය ඔහු වෙනුවෙන් කළ යාච්ඤාවක ප්‍රතිඵලයක් වශයෙන් ඔහු සුවය ලැබීය. එහෙත් එයින් රාජකීය නිළධාරීන්ගේ ආකල්ප වල වෙනසක් ‍සිදු නොවීය. නැවත වරක් පුළුස්සා මැරීමට දැරූ උත්සහය ද වැළකී ගියේ ගිනි අවුළුවාලූ අයම එම ගින්නෙන් වැනසී ගිය බැවිනි. එකල එතුමියව ගෙළ සිඳ මරණයට පත් කිරීමට නියම විය. ඇගේ රූමත් හා අවිහිංසක බව දුටු අළුගෝසුවා පොරොව ගෙන පසෙකට විය. එය දුටු ඇග්නස් තුමිය මෙසේ කීවාය. "අප්‍රමාද වන්න. ඔබගේ කාර්යය ඉටු කරන්න. මාගේ ස්වර්ගීය මනාළයා මා එනතුරු බලා සිටියි. ඔවුන් වහන්සේගේ ප්‍රේමය හිමි කර ගැනීමට මා ඉක්මනින් එහි යා යුතුය." එවිට එම අළුගොසුවාගේ පොරෝ පහරින් ඇගේ ගෙළ සිඳී ස්වර්ගස්ත වූවා ය. එය සිදු වූයේ ක්‍රිස්තු වර්ෂ 304 ජනවාරි 21 වෙනිදා ය. ඇගේ සිරුර උමං සොහොනක තැන්පත් කෙරුණි. සතියකට පසුව එහි ගිය දෙමව්පියන්ට ඇග්නස් තුමිය සුදු බැටළු පෝතකයෙකු සමග දර්ශනය වූවා ය.[13] ඉන් වසරකට පසුව කිතුනු සැදැහැවතුන් ඇය ප්‍රාණ පරිත්‍යාගී වූ ස්ථානයෙහි ඇයගේ මරණ වාර්තාව කියවා, දිළිඳුන්ට දන් දුන්හ.[14]  

ශත වර්ෂ 3 ක් පුරා පැවති දැඩි කිතුනු හිංසන ක්‍රියාදාමය අවසන් වූයේ කොන්ස්ටන්ටයින් රෝමයේ අධිරාජ්‍ය ධූරයට පත් වීමත් සමගය. ක්‍රිස්තු වර්ෂ 312 දී කොන්ස්ටන්ටයින් රෝම අධිරාජ්‍යයා නිකුත් කළ මිලාන් හි ආඥාව මගින් ක්‍රිස්තියානි ධර්මය ඇදහීමේ නිදහස ප්‍රකාශයට පත් කළේය. ඇතැම් විට මෙවැනි ආගමික නිදහසක් දීමට හේතුව ක්‍රිස්තියානි බැතිමතියක වූ  ඔහුගේ මව (සාන්ත හෙලේනා)[15] විය හැකිය. එය රෝමයේ නව සමාජ, සංස්කෘතික හා ආගමික පරිවර්තනයක් ඇති කිරීමට සමත වූවක් විය. කෙසේ වුව ද, මෙම මිලාන් හි ආඥාව මගින් පහත තීරණ ප්‍රකාශයට පත් කෙරිණි.
  • රෝම අධිරාජ්‍යය තුළ ඕනෑම අයෙකුට තමන් කැමති ආගම ධර්මයක් ඇදහීමේ නිදහස හා අයිතිය තහවුරුකෙරේ.
  • ආගමක් ඇදහීම කරණකොටගෙන කිසිම පුද්ගලයෙකුට දඬුවම් පැමිණවිය නොහැකිය.
  • ආගම ඇදහීම නිසාවෙන් යම් අයෙකු සිරගත කොට තිබේ නම් ඔහුව නිදහස් කළ යුතුය. දේපළ රාජසන්තක කර තිබේ නම් ඒවා නැවත ලබා දිය යුතුය.
  • සෑම ආගමිකයෙකුට ම අන් අයට හිරිහැරයක් නොවන සේ තමන්ගේ ආගමික ස්ථාන පවත්වා ගැනීමට හැකියාව තහවුරු කෙරේ. 
මෙහි ප්‍රතිඵලයක් වශයෙන් කිතුනු සභාවට නිදහසේ ආගම ඇදහීමටත්, ධර්මප්‍රචාරයේ යෙදීමටත් අවකාශ හිමි විය. කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයාගේ මව වූ සාන්ත හෙලේනා තුමිය ද ධනයෙන් ආධාර උපකාර කරමින් සභාවේ දියුණුවට අත හිත දුන්නා ය.පසුව කොන්ස්ටන්ටයින් තම මවගේ හා කතෝලික සභා ශ්‍රේඨයන්ගේ මග පෙන්වීම් හා උපදෙස් වලට අනුව කිතු දහම වැළඳ ගැනීමත් සමගම කතෝලික ධර්මය රාජකීයත්වයට පාත්‍ර වූ රෝම අධිරාජ්‍යයේ රාජාගම බවට පත් විය.
 කතෝලික සභාව විනාශ කොට මුලිනුපුටා දැමීම මෙම පීඩක අධිරාජ්‍යවරුන්ගේ අරමුණ වුවත්, ජේසුස් ස්වාමින් වහන්සේ පේදුරු තුමාට කළ ප්‍රකාශය අනුව එය විනාශ වීමට, නිරා දොරටු වලට ජය ගැනීමට ඉඩ නොදෙන සේක. [මතෙව් 16 : 18] එනිසා ඔවුන් වහන්සේ එවකට සිටි කිතුනුවන්ගේ සිත් ධෛර්යමත් කොට සිය ජීවිත පූජාවෙන් වීරෝධාර ලෙස කතෝලික සභාව රැකගැනීමට පිහිට වූ සේක. එසේම අවිහිංසක කිතනුවන්ට දුන් වධ හිංසා වලට නියමිත ඵල විපාකය එම පීඩක රජවරුන්ට ලබා දුන් සේක. එම අධිරාජ්‍යවරුන්ගේ අවසානය ද බොහෝ ඛේදනීය හා බියකරු විය. රෝමය කිතුනුවන්ගේ රුධිරයෙන් නැහැවූ උම්මත්තක නීරෝ ජාතික සතුරෙකු ලෙසින් රෝම සෙනෙට් සභාව විසින් නම් කරනු ලැබූ නිසා සිත වේදනාවට පත්ව සිය දිවි නසා ගත්තේ ය. ඩොමීෂියන්‍ට මරණය ළඟා වූයේ ඔහුගේම බිසොව රෝම සෙනෙට් සභාවේ නිළධාරීන්ගේ සහයෙන් ඔහුව ඝාතනය කිරීම නිසා ය. ට්‍රාජන් ට තම රජකම බාර දීමට දරුවෙකු නැති කමින් සොවින් පෙළී මළේය. මාර්කස් අවුරේලියස්ගේ මහළු වියේ දී රජකම රෝමන් හමු‍දාවේ සේනාධිනායකයාට දෙනු ඇතැයි බියෙන් ඔහුගේම පුත් කොමඩෝස් විසින් රහසිගතව ඝාතනය කරල ලදුව සාමාන්‍ය මරණයක් ලෙසින් පෙන්වන ලදි. සෙප්ටිමස් සෙවරස්ව ඔහුගේම පුත්‍රයා විසින් ඝාතනය කිරීමට දෙවරක්ම දරන ලද උත්සහය ගැන දැනගැනීමෙන් ශෝකයට පත්ව මිය ගියේ ය. මැක්සිමියන් හට මරණය ළඟා වූයේ රෝමානු ප්‍රිතෝරියන් සෙබළුන්ගේ  [Praetorian Guard] රාජ්‍ය බලය පැහැර ගැනීමට කළ කුමන්ත්‍රණයකිනි. ඩේසියස් රජුගේ මරණය සිදු වූයේ ගොත්වරුන් සමග කළ සටනක දී  [Battle of Abrittus fighting against the Goths]  ඉතා අවාසනාවන්ත හා වේදනාත්මකවය. වැලේරියන් රජු පර්සියාවේ සාපොර් රජු සමග කළ සටනකින් පැරදී සිරකරුවෙකු බවට පත් විය. එම පර්සියානු රජ තම අසු පිටට නැග්ගේ වැලේරියන්ගේ බෙල්ලට පය තබමිනි. පසුව පණ පිටින් හම ගසා, රතු සායම් පොවා, මරණයට පත් කර රෝමවරුන්ට නින්දා වන පිණිස දේවාලයක එල්ලා තැබීය.[Captured in Battle of Edessa against Persians, died in captivity] අවුරේලියන් රජුව ද ප්‍රිතෝරියන් සෙබළුන් විසින් [Praetorian Guard] මරණයට පත් කරන ලදි. දියොක්ලේෂියන් රජු හට අසාධ්‍ය භායනක රෝගයක් වැළඳී සිරුර කුනු වී නිරාහාරව මළේ ය. 

--- වැඩිදුර සටහන්---
[1] ඔගස්ටස් සීසර් (ක්‍රිස්තු පූර්ව 28 - ක්‍රිස්තු වර්ෂ 14) : ක්‍රිස්තු පූර්ව 31 දී ඔක්ටේවියස් හෙවත් ඔගස්ටස් සීසර් රෝම පාලනය අතට ගත්තේ , මාර්ක් ඇන්ටොනි හා ක්ලෙයෝපැට්රාගේ පරාජය හා මරණයත් සමග ය. ක්‍රිස්තු පූර්ව 27 ජනවාරි 16 වෙනිදා රෝම සෙනෙට් සභාව ඔහුට "උත්කෘෂ්ඨ පාරිශුද්ධ" යන අරුතැති "ඔගස්ටස් සීසර්" යන නාමය පරිනැමීය. ජූලියස් සීසර් සකසා තිබූ රෝම කැලැන්ඩරයට තමාගේ නමින් අගෝස්තු නම් මාසය එක් කර ගත් ඔහු, ජූලියස් සීසර්ගේ නමින් තිබූ ජූලි මාසයේ දින ගණනට සමානවීමට පෙබරවාරි මාසයෙන් දිනයක් ඈඳා ගත්තේ ය. රෝම සාම රාජ්‍ය ක්‍රමය [Pax Romana] රෝම අධිරාජ්‍යයට හඳුන්වා දුන් ඔහු "පොන්ටිමෙක්ස් මැක්සිමස්" (උත්තම පූජක) යන නාමය ආරූඪ කර ගත්තේ ය. ඔහුට රෝම සෙනෙට් සභාව ක්‍රිස්තු පූර්ව 2 දී "පාතෙර් පේට්රියා" [Pater Patria] යන නාමය පිරිනැමීය. "‍ගඩොල් රෝමය කිරිගරුඬින් සරසා සමුගනිමි" යනුවෙන් පවසමින් ඔගස්ටස් සීසර් ක්‍රිස්තු වර්ෂ 14 අගෝස්තු 19 දින මිය ගියේ ය.
[2] ක්‍රිස්තු වර්ෂ 37 දෙසැම්බර් 15 දින උපන් නීරෝ, ජර්මානිකස් කලිගුලා‍ රෝම අධිරාජ්‍යයාගේ (Germanicus), මුණුපුරා හා ක්ලෝඩියස් (Claudius) රෝම අධිරාජ්‍යයාගේ හදා ගත් පුත්‍රයා ය. ක්‍රිස්තු වර්ෂ 54 ඔක්තෝබර් 13 දින සිට 68 ජුනි 11 දින දක්වා රෝමය පාලනය කළේය. රෝම රාජ්‍යයේ පොදු සතුරෙකු ලෙසින් රෝම සෙනෙට් සභාව විසින් ඔහුව ප්‍රතික්ෂේප කරන ලදුව සිය දිවි නසා ගත්තේ ය.
[3] ජෝසප් ජයසූරිය පියනම, සාන්ත සභා ඉතිහාසය, පිටුව 32
[4] බැබලෙන තරු, ජාතික ධර්මෝපදේශ මධ්‍යස්ථානය, කොළඹ, පිටුව 31
[5] ඩී. සී. ජයසිංහ, පොළොවේ ලුණු-අපෝස්තුළුවරු දොලොසකගේ ජීවිතය, කතෝලික පොත්හල, කොළඹ, 1963, පිටුව 25
[6] වෙස්පාසියන් රෝම අධිරාජ්‍යයාගේ (ක්‍රි.ව. 69 - 79) පුත්‍රයා වූ ඩොමිෂියන් ක්‍රිස්තු වර්ෂ 81 සැප්තැම්බර් 14 සිට 96 සැප්තැම්බර් 18 දින දක්වා රෝමය පාලනය කළේය. රෝම සෙනෙට් සභිකයන් විසින් ඔහුව ඝාතනය කරන ලදි.
[7] ක්‍රි.ව. 53 සැප්තැම්බර් 18 උපන් ට්‍රාජන් රෝම අධිරාජ්‍යයා නර්වා නම් රෝම අිරාජ්‍යයාගේ (96 - 98) දරුකමට හදා ගත් පුත්‍රයා ය. 
[6] සාන්ත ඉග්නාසියුස් තුමා රචනා කළ හසුන් පත් මෙසේ ය. 
  • එපීසවරුන්ට යැවූ හසුන                 (Epistula ad Ephesios)
  • මග්නේසියන්වරුන්ට යැවූ හසුන        (Epistula ad Magnesians)
  • ට්‍රාලියන්ස්වරුන්ට යැවූ හසුන            (Epistula ad Trallians)
  • රෝමවරුන්ට යැවූ හසුන                (Epistula ad Romanos)
  • ෆිලඩෙල්ෆියානුවන්ට යැවූ හසුන        (Epistula ad Philadelphians)
  • ස්මරණාවේ වැසියන්ට යැවූ හසුන       (Epistula ad Smyrnaeans)
  • සාන්ත පොළිකාර්ප් තුමාට යැවූ හසුන   (Epistula ad Polycarpum)
[7] සාන්ත සභා ඉතිහාසය, පිටුව 35
[8] සාන්ත සභා ඉතිහාසය, පිටු 35 - 36 / Anne Fremantle, A Treasury of early Christianity, Amentor Book, The new American Library of World Literature, Inc., N.Y., 1960, pp. 38-39
[9] A Treasury of Early Christianity, pp. 169 - 172
[10] තේවාචාර්ය [Deacon] පදවිය පූජකවරය ලබන අයෙකුට පිරිනමන පළමු පදවි තත්ත්වය වේ. පූජක පුහුණුව සම්පූර්ණ කළ, දේවධර්මය හා දර්ශන විද්‍යාව හදාරා පූජකවරය අපේක්ෂාවෙන් සිටින කෙනෙකුට මෙම පදවිය රදගුරු තුමෙකු හෝ පාප්තුමා විසින් පිරිනමනු ලබයි. බව්තීස්මය දීම, දිව්‍ය සත්ප්‍රසාදය බෙදා දීම, යාච්ඤා මෙහෙයයන් පැවැත්වීම, සුභාරංචිය දේශනා කිරීම, දිව්‍ය පූජාවේ දී පූජකවරයාට සහය වීම හා අවමංගල්‍ය වත් පිළිවෙත් පැවැත්වීම යනාදිය තේවාචාර්යවරුන්ට කළ හැකිය. අපෝස්තුළුවරුන්ගේ ක්‍රියා පොතේ 7 වන පරිච්ඡේදයේ මුල් කිතුනු සභාවේ පළමු තේවාචාර්යවරුන් සත්දෙනා පිළිබඳව සඳහන් වේ. 
[11] සාන්ත සෙබස්තියන් තුමා වසංගත රෝග හා ශාරිරිකාබාධ සම්බන්ධයෙන් යාච්ඤා කරන නාම සාන්තුවරයා ය.
[12] සාන්ත ලුසියා තුමිය අක්ෂි රෝග, කාන්තා රෝග හා උගරේ ආබාධ වෙනුවෙන් යාච්ඤා කරන සාන්තුවරියයි.
[13] එම බැටළුවා තමන් ස්වාමි පුරුෂයා ලෙසින් හැඳින්වූ ජේසුස් වහන්සේව සංඛේතාකාරව දර්ශනය කිරීමක් ලෙස කිතුනුවන් විශ්වාස කරති.
[14] එතැන් පටන් අද දක්වා ම ‍රෝමයේ ඉපැරණි චාරිත්‍රයක් පැවැත්වේ. එනම්, ගොබ් ඉරු දින දී පෙරහැරකින් රැගෙන එන බැටළු පැටව් දෙදෙනෙකු වතිකාන දෙව්මැදුරේ දී පාප්තුමා විසින් ආසිරි ගන්වනු ලැබ, සාන්ත ඇග්නස් කන්‍යාරාමයේ මහ සිකුරාදා දින දක්වා රැකවරණය ලබති. එදින දී අන්ගේ ලොම් කපා ඒවායින් රදගුරුවරුන්ට පාප්තුමා විසින් ත්‍යාග කරනු ලබන කර පළඳනාව (Pallium) ගොතනු ලබයි.
 [15] සාන්ත හෙලේනා තුමිය ඇගේ ධනය වැය කර කල්වාරි කන්ද හාරා ශුද්ධ වූ කුරුසිය සොයා ගත් තැනැත්තිය වශයෙන් කිතුනු ගෞරවාදරයට පත් වන්නීය.
 
 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2013. ඉතිහාසය - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger